Category Archives: දියවන්නාව

ගෝඨාභය ඇමරිකන් පුරවැසිභාවය ඉවත් කරගෙන?

ගෝඨාභය රාජපක්ෂ සිය පුද්ගලික සංචාරයක් ලෙස පසුගිය දිනක ඇමරිකාව බලා පිටත්ව ගියත් එය අපේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ විශේෂ උණුසුම් මාතෘකාවක් වූයේ රටට බලපාන විශේෂ කරුණු කීපයක් නිසාය. ඒ අතර ප‍්‍රධාන වූයේ ගෝඨාභය රාජපක්ෂ මීළඟ ජනාධිපතිවරණයේ දී ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමක් ඇති බව මෑතකදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කර තිබීමයි. ඔහු කීවේ ඒ සඳහා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් නම් හා මේ රටේ ජනතාව සූදානම් නම් ඊට තමන්ගේ අකමැත්තක් නැති බවය.

මෙම ප‍්‍රකාශයත් සමගම එක්සත් ජාතික පක්ෂයට හොඳ ඉලක්කයක් ලැබිණි. ඒත් සමගම මහින්ද පාර්ශ්වයට විරුද්ධ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවලට හා දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර බලවේගවලට ද පහර දෙන්නට හොඳ ඉලක්කයක් ලැබිණි. ඊළඟ ජනාධිපතිවරණයේදී වර්තමාන රජයට හා එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ ඉහත කී සියලූ බලවේගවලට නියත ප‍්‍රතිවාදියකු ලැබීම තුළ ඔවුන්ගේ සටන්වලට ද ඒකමිතියක් ලැබිණි. මෙතෙක් කලක් පොදුවේ රාජපක්ෂ කඳවුරට ඔවුන් ප‍්‍රහාර පිට ප‍්‍රහාර එල්ල කරමින් සිටියේ ජනාධිපතිවරණයට පැමිණෙන නිසැක අපේක්ෂකයා කවුරුන්දැයි හරිහැටි නොදැනය. ගෝඨාභයගේ ස්වයං ඉදිරිපත් වීම තුළ ඒ හැමෝටම හොඳ පිළිතුරක් ලැබීම නිසා ගෝඨාභයගේ තීරණාත්මක ඇමරිකානු සංචාරය මේ කා අතරත් උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබිණි.

ආරංචි මාර්ග නිවැරදි නම් ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකාවට ගියේ සිය ද්විත්ව පුරවැසිභාවයේ ඇමරිකානු අර්ධය ඉල්ලා අස්කර ගැනීම සඳහා අවශ්‍ය නෛතික කටයුතු කිහිපයකටය. එහෙත් ඔහුගේ විරුද්ධවාදීන් එම කරුණු විවිධාකාරයෙන් අර්ථ දක්වන්නට වූහ.

රටේ පවතින සාමාන්‍ය නීතියට අනුව වෙනත් රටක පුරවැසියකුට ලංකාවේ දේශපාලන තනතුරක් සඳහා අපේක්ෂකත්වය දරන්නට නොහැකි ය. එසේම ද්විත්ව පුරවැසියකුටද එම අයිතිවාසිකම අහිමිය. ගෝඨාභයට ලංකාවේත් ඇමරිකාවේත් ද්විත්ව පුරවැසි භාවයක් ඇති බැවින් ලංකාවේ දේශපාලනය සඳහා තනතුරකට ඉල්ලූම් කිරීමට නම් ඔහු සිය ද්විත්ව පුරවැසිභාවයෙන් ඉවත් වී ලංකාවේ පුරවැසියෙක් බවට පත් ව තහවුරු වී සිටිය යුතුමය. පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා ඔහු ඇමෙරිකාවට යාමත් සමගම ගෝඨාභය මේ නිසැකවම සූදානම් වන්නේ ජනාධිපතිවරණයට තරග වැදීමට බව ඔහුගේ විරුද්ධවාදීන් සැකහැර දැනගත්හ. මහින්ද පිලට එරෙහි ජාත්‍යන්තරයත් ජාතික බලවේගත් ගෝඨාභයට එරෙහි සටන එළිපිට ආරම්භ කරන්නේ ඒ අනුවය.

ගෝඨාභයට එරෙහි ජාතික බලවේග රට ඇතුළේ ගෝඨාභය විරෝධී මාධ්‍ය ව්‍යාපාරයක් ආරම්භ කරන්නේ මෙම පසුබිම තුළය. ආරම්භයේ සිටම එකී මාධ්‍ය ව්‍යාපාරයේ යම් යම් මූලයන් ප‍්‍රසිද්ධියට පත් කරමින් ජනතාව තුළ තහවුරු කරමින් සිටි මතයක් වූයේ ගෝඨාභයට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කරගෙන මේ රටේ ඡුන්දයකට ඉදිරිපත් වීමේ වරම කෙලෙසකවත් නොලැබෙන බවකි. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම පහසු නොවන කාර්යයක් බව ඔවුහු මුල සිටම කියන්නට පටන් ගත්හ.

එහෙත් ගෝඨාභය එම ප‍්‍රකාශය කිසි ලෙසකත් කනකට ගත්තේ නැත. ඔහු නිතරම කිව්වේ තමන්ට තිබෙන්නේ ඇමරිකානු පුරවැසි භාවයක් නොව, ශ‍්‍රී ලංකා පුරවැසි භාවයක් බවය. ඊට අමතරව ඔහු ඇමරිකාවේ ද්විත්ව පුරවැසියකු ලෙස සිටින බවද ඔහු තහවුරු කළේය. ශ‍්‍රී ලංකාවේ පුරවැසියකු වන තමන්ට තම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය අවසන් කර ගැනීමට අවශ්‍ය නම් එය ඕනෑම මොහොතක නීතිමය රෙගුලාසි යටතේ අවශ්‍ය ක‍්‍රියා පිළිවෙත මත යමින් පහසුවෙන් කරගත හැකි බව පමණක් ඔහු කියා සිටියේය.

ගෝඨාභයට එරෙහිව
ඒකාබද්ධ ක‍්‍රියාන්විතයක්…

ශ‍්‍රී ලංකාවේ නීතිමය අවසරය ලබා ගනිමින් මීට සති කිහිපයකට පෙර ගෝඨාභය ඇමරිකාව බලා පිටත්ව යන්නේ ඒ අනුවය. පුරවැසිභාවය ඉවත් කර ගැනීමේ කටයුත්තට අදාළ අත්‍යවශ්‍ය පියවර කීපයක් ගැනීම ඔහුගේ එම ගමනේ අරමුණ විය.

ඔහු ඇමෙරිකාවට ගිය පසුව ක‍්‍රියාත්මක වූ දෙමළ ඩයස්පෝරාව ප‍්‍රමුඛ ජාත්‍යන්තර බලවේග ගෝඨාභය පුරවැසිභාවය ඉවත් කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර තබමින් සිටියදී ඊට මහා බාධක කීපයක් නිර්මාණය කරන්නට සැලසුම් කරමින් සිටියහ. ගෝඨාභයට එරෙහිව කැලිෆෝනියා ප‍්‍රාන්තයේ දී සිවිල් නඩු දෙකක් පැනවෙන්නේ එම ක‍්‍රියාන්විතයට අනුවය.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ දියණිය සහ දෙමළ ඩයස්පෝරා සාමාජිකයකු විසින් මෙම නඩු දෙක පවරා තිබුණු අතර ඊට ඇමෙරිකාවේ මෙරට කොන්සල් කාර්යාලයේ සහාය ද ලැබී තිබුණු බවට ආරංචි පැතිරුණු අතර ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බියෙන් ආණ්ඩුව මෙවැනි කටයුතුවල නියැළෙන බවටය.

කෙසේ වෙතත් මෙම නඩු සහ ගෝඨාගේ පුරවැසිභාවය අහෝසි කිරීමේ කටයුතු අතර සම්බන්ධයක් නොමැති බවට නීති විශාරදයන් පෙන්වා දී තිබුණි.

ඒ අතර මහින්ද පාර්ශ්වයට විරුද්ධ ජාත්‍යන්තර බලවේග මත සංවිධානය වූ සමාජ මාධ්‍ය ප‍්‍රමුඛ විවිධ මාධ්‍යයන් එම ක‍්‍රියාන්විතයට අදාළ මාධ්‍ය සත්කාරයන් නොඅඩුව ඉටුකරමින් සිටියහ. එම මාධ්‍ය සත්කාරයන්වලට අනුව ගෝඨාභයට කිසි ලෙසකත් ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගන්නට ලැබෙන්නේ නැත. පුරවැසිභාවය ඉවත් කරගන්නවා ට ප‍්‍රථමව ඔහුට ඇමරිකානු අධිකරණය ඉදිරියේ බරපතළ නඩු කටයුතු දෙකකට මුහුණදීමට සිදුවනවා ඇත. එම නඩු කටයුතු දෙක ඉදිරියේ පුරවැසිභාවය ඉවත් කර ගැනීම බඳු විශේෂ ක‍්‍රියාන්විතයකට ඔහුට ඇමරිකානු රජයේ අවසරය නොලැබෙනවා ඇත. මේ සියලූ තර්ක විතර්ක අවසානයේ ඔවුන් ඉදිරිපත් කළ කාරණාව වූයේ ගෝඨාභය නිසැකවම ඇමරිකාවේ දී අත්අඩංගුවට පත් වනවා යන්න ය.

මේ අතර එක්සත් ජාතික පක්ෂය ප‍්‍රධාන ගෝඨාභයට විරුද්ධ බලවේග තවත් අපූරු ප‍්‍රවාදයක් ලංකාවේ සමාජ මාධ්‍ය තුළින් දිග හරින්නට පටන් ගත්තේය. එමඟින් කියැවුණේ ගෝඨාභය යම් හෙයකින් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගනු ලැබුවත් ඔහුට ශ‍්‍රී ලංකා පුරවැසිභාවය නම් කිසි ලෙසකත්
ලබාගන්නට නොහැකි වනු ඇති බවය.

වෙනත් ඕනෑම රටක පුරවැසිභාවයෙන් ඉවත් වන පුද්ගලයෙක් යළි ශ‍්‍රී ලංකාවේ පුරවැසිභාවය ලබාගැනීමට තවත් ක‍්‍රියා පටිපාටියක් අනුගමනය කළ යුතු බව එම ප‍්‍රකාශයේ සටහන් විය. ඒ සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කළ යුතු බව එමගින් කියවිණි. එවිට අවශ්‍ය නම් ස්වදේශ කටයුතු අමාත්‍යවරයාට එම ඉල්ලීමට එකඟතාවය පළ නොකර සිටීමට හැකි බව ද එහි සටහන් විය.

ගෝඨාභයගේ එම ඉල්ලීම් ඉටු නොකර සිටීමට නම් ස්වදේශ කටයුතු අමාත්‍ය ධුරයේ වගකීම් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි ගෝඨාභය විරෝධියකුට ලබාදිය යුතු බවද එම ප‍්‍රවාදය තුළින්ම යෝජනා කර තිබීම විශේෂත්වයකි. මේ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ වගකීම් වහාම සරත් ෆොන්සේකා මහතා වෙත පවරා දීම සඳහා අවශ්‍ය බලපෑම සහ ඉල්ලීම කිරීමට දැනටමත් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් ජනාධිපතිවරයා හමුවීමට හා
අගමැතිවරයා සමග සාකච්ඡුා කිරීමට සූදානම්ව සිටින බවද එමගින් කියා තිබුණි.

එජාපයට හිතවත් මාධ්‍ය මගින් මේ සියලූ ප‍්‍රචාරයන් කරමින් රට තුළ ලොකු ගෝඨාභය විරෝධයක් නිර්මාණය කරමින් පුවත් නිර්මාණය කරමින් ඒවා රටේ පතුරවමින් රටට අලූත් කතිකාවක් බිහිකර තිබුණේ ගෝඨාභය ඇමරිකාවේ සිටි කාලය අතරතුරය. එහෙත් හදිසියේම ගෝඨාභය ලංකාවට පැමිණෙන බවට ආරංචියක් ද පැතිර ගියේය. ඇමරිකාවේ ආණ්ඩුව සමග කරන ලද ගනුදෙනු
ගණනාවකින් පසුව එහි සාර්ථක ප‍්‍රතිඵල අත්පත් කරගෙන ගෝඨාභය යළිත් සිංහල අලූත් අවුරුද්දට ප‍්‍රථම ලංකාවට පැමිණීමට නියමිත බවට ආරංචිය පැතිර ගියේ මේ අතරය. මෙම ආරංචියත් සමගම ඉහත ගෝඨාභය පිළිබඳව ලංකාවේ පතුරුවා හරිමින් තිබූ ප‍්‍රවාද සියල්ල අභියෝගයකට ලක් වන්නට විය.

පුරවැසිකම් පිළිබඳ
අලූත් ප‍්‍රවාදයක්…

එහෙත් මේ කතාන්දරය පසුබිමේ තිබූ ඇත්ත කතාව තවත් එකකි. ඒ ඇත්ත කතාව ගැන කියන්නට කිසිවකු විශේෂයෙන් ඉදිරිපත් නොවුවත් සමහර ජාතික මාධ්‍ය එම ඇත්ත කතාව රටට කියන්නට මැලි වූයේ නැත.

එම ඇත්ත කතාවට අනුව ගෝඨාභය රාජපක්ෂ යනු ලංකාවේ පුරවැසියෙකි. එය ඔහුට උප්පත්තියෙන් හිමි අයිතිවාසිකමකි. ඔහුට ඇමරිකාවේ තිබෙන්නේ ද්විත්ව පුරවැසිභාවයකි. ඒ අනුව ඔහු ලංකාවේත් ඇමෙරිකාවේත් දෙරටේම පුරවැසියකුට හිමි වරප‍්‍රසාදවලට හිමිකම් ලබයි. එහෙත් එවන් අයෙකුට ඕනෑම විටක තමන් දෙවන වරට ලබා ගන්නා ලද පුරවැසිභාවය ඉල්ලීමක් කිරීමෙන් ඉවත් කර ගැනීමට ද අයිතියක් තිබේ. උපතින් හිමි වූ පුරවැසිභාවය ඉවත්කර ගැනීමට තරමක් අසීරුය. ඉල්ලීමක් මඟින් ලබාගන්නා ලද පුරවැසිභාවය තමන්ට අවශ්‍ය විටෙක ඉවත් කර ගැනීම අසීරු නැත.

ඒ එක් පැත්තකි. අනිත් අතට ඕනෑම ද්විත්ව පුරවැසියකුට තමන් දෙවැනි පුරවැසියාව සිටින රටේ පුරවැසිභාවය ඉවත් කරගත් පසුව නිතැතින්ම තමන් උපන් රටේ පුරවැසිභාවය පමණක් හිමිය. එය යළිත් එම රටේ ස්වදේශ කටයුතු ඇමතිවරයාගෙන් අමුතුවෙන් ඉල්ලා ලබා ගැනීමට තිබෙන අයිතිවාසිකමක් නොව. උප්පත්තියෙන්ම හිමිව තිබෙන අයිතිවාසිකමකි.

මේ තර්ක විතර්ක මෙසේ තිබියදී ගෝඨාභය රාජපක්ෂ පසුගිය 12 වන දා ලංකාවට පැමිණෙන බවට නිල වශයෙන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට පණිවුඩයක් ලැබුණි. ගෝඨාභය ලංකාවෙන් පිටව ගියේ ප‍්‍රසිද්ධියේ නොවේ. එහෙත් හදිසියේම 12 වන දා යළිත් ලංකාවට පැමිණිය යුත්තේ අප‍්‍රසිද්ධියේ නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ සෑම දෙනකුගේම මතය විය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ පිළිගැනීමට විශේෂ වැඩපිළිවෙළක් සූදානම් කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් හදිසියේම තීරණයක් ගනු ලැබූහ.

ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මේ සම්බන්ධයෙන් ඉතා හදිසියේ වුවත් විධිමත් සැලැස්මක් සූදානම් කර ගත්හ. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ 12 වැනි දා ගුවන් තොටුපළේ දී පිළිගැනීමට විශේෂ වැඩසටහනක් ද හදිසියේම සංවිධානය කරන්නට මන්ත‍්‍රීවරු නායකත්වය ගත්හ. මහින්දානන්ද අලූත්ගමගේ හා ප‍්‍රසන්න රණතුංග මෙම කටයුත්තේ ප‍්‍රධාන සංවිධායකයින් ලෙස වගකීම් භාර ගත්හ. සමාජ මාධ්‍ය ජාලා හරහා ද ගෝඨාභය පිළිගැන්මට ගුවන්තොටට පැමිණෙන ලෙසට ආරාධනා හුවමාරු වෙමින් තිබුණේය.

ඒකාබද්ධ විපක්ෂය එසේ සූදානම් වෙමින් සිටිය ද ආණ්ඩුව සැරසෙමින් සිටියේ ඊට වඩා වෙනස් වැඩපිළිවෙළකටය. ඒ අනුව ගෝඨාභය පිළිගැනීමේ උත්සවය කඩාකප්පල් කිරීමේ අරමුණෙන් විවිධ ක‍්‍රියාමාර්ග ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගැනෙමින් තිබුණේ කාටත් හොර රහසේය. එම ගැටලූ සියල්ල විපක්ෂ නායක කාර්යාලයේ මාර්ගයෙන් විසඳා ගැනීමට 11 වැනි දා වන විට හැකි විය.

12 වැනි දා උදෑසනම ප‍්‍රසන්නට මහින්දගෙන් දුරකථන ඇමතුමක් ආවේය.

‘ප‍්‍රසන්න කොහෙද ඉන්නේ? මහින්ද ඇසුවේය.

‘සර් මං එයාපෝර්ට් එකට යන්නයි හදන්නේ’ ප‍්‍රසන්න උත්තර දුන්නේය.

‘ඒක හොඳයි ප‍්‍රසන්න. ඔයා ගිහින් එතන වැඩ ටික බලලා කරන්න. විශේෂයෙන් ආරක්ෂාව ගැනත් බලන්න ඕනේ. ගෝඨාභය කොළඹට එනකම් ඔයාට බාරයි’ මහින්ද උපදෙස් දුන්නේය.

‘හරි සර්. මං ඒවා බලාගන්නම්. ඔය හැමතැනම ඉන්නේ අපේ කොල්ලෝ. ඒ හින්දා සර් බයවෙන්න එපා’ කී ප‍්‍රසන්න ගුවන්තොට බලා පිටත්ව ගියේය.

ගෝඨාභය පිළිගන්නට
ප‍්‍රසන්නගෙන් පොහොට්ටු

එමිරේට්ස් ගුවන් සේවාවට අයත් ගුවන්යානයකින් උදෑසන 8.35 ට කටුනායක ගුවන් තොටුපළට ගෝඨාභය පැමිණීමට නියමිතව තිබුණත් ගුවන් ගමන ඊට තරමක් වේලාසනින් සිදුවීමට නියමිත බව මන්ත‍්‍රීවරුන්ට දැනගන්නට ලැබිණි. විශේෂයෙන්ම මහින්දානන්ද

අලූත්ගමගේ 12 වැනි දා පාන්දරින්ම ගෝඨාභය රාජපක්ෂට දුරකථනයෙන් අමතද්දී ඔහු සිටියේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේය. මහින්දානන්ද ලංකාවේ සූදානම් කර තිබෙන පිළිගැනීම පිළිබඳව වැඩි විස්තර ගෝඨාභය රාජපක්ෂට තොරතුරු වාර්තා කළේය.

‘ඔයගොල්ලා ඔය ඔක්කොම පිළිගැනීම් කටයුතු සංවිධානය කරනකොට සාමාන්‍ය මහජන පර්යන්තය පැත්තේ සියල්ලම ලෑස්ති කර ගන්න. මේ වැඬේට වීඅයිපී ලවුන්ඡු් එක යොදාගන්න එපා.

‘අපි ඔක්කොම එතන සූදානම් කරලා ඉවරයිනෙ සර්….’

‘නෑ නෑ…. ඒ වැඬේ එතැන කරන්න එපා. මම දැන් විශේෂ පුද්ගලයෙක් නෙවෙයි… සාමාන්‍ය මිනිහෙක් පමණයි… ඒක නිසා ගැලපෙන විදියට වැඬේ ලෑස්ති කරන්න. ඒ උපදෙස් මත මහින්දානන්දට අනෙකුත් මන්ත‍්‍රීවරුන්ටත් පිළිගැනීමේ විශේෂ කටයුත්ත මහජන පර්යන්තය පැත්තට ගෙන එන්නට විශේෂ පරිශ‍්‍රමයක් යොදන්නට සිදු විය.

එදින උදෑසන වී. අයි. පී. දොරටුවෙන් ඇතුළු වූ මන්ත‍්‍රීවරුන්ට සාමාන්‍ය මහජන දොරටුව වෙත යෑම අවහිර කර තිබුණේය. එසේම පැමිණ සිටි ආධාරකරුවන්ට ද සිටගෙන සිටින්නටවත් තැනක් නොතිබීම නිසා ගැටලූ රැසක් උද්ගතව තිබුණේය. ප‍්‍රසන්න ද සිටියේ ගුවන්තොටට පැමිණෙන අතරමඟ නිසා ඩලස් වහාම දුරකථන ඇමතුමක් ගත්තේය.

‘මල්ලි කොහෙද ඉන්නේ? මෙතැන අවුල් ගොඩක්’ ඩලස් පැවසීය.

‘මම මේ ළඟ ඉන්නේ’ කී ප‍්‍රසන්න දුරකථනය විසන්ධි කර වහාම ගුවන්තොටට ගියේය. ගුවන්තොටේ සේවයේ නියුතු සිය ආධාරකරුවන් සම්බන්ධ කර ගත් ප‍්‍රසන්න සියලූ ගැටලූ ක්ෂණයකින් විසඳා දැමුවේය. ඒ අනුව මන්ත‍්‍රීවරුන්ට සහ ආධාරකරුවන්ට බාධාවකින් තොරව ගමන් කිරීමටත් උත්සවයේ ආගමික කටයුතු සඳහා වැඩම කළ මහා සංඝරත්නයට එම කටයුතු ඉටු කරගැනීමටත් අවස්ථාව සැලසිණි.

මේ අතර ඩලස් තවත් යෝජනාවක් කළේය. ඔහු කීවේ ගෝඨාභය පිළිගන්නට නෙළුම් පොහොට්ටු තිබුණොත් හොඳයි කියාය. ඒ වන විට ගෝඨාභය එන්නට තිබුණේ පැය භාගයකටත් අඩු කාලයකි. වහාම ප‍්‍රසන්න සිය ආධාරකරුවන් දෙදෙනකු මෝටර් බයිසිකලයකින් ගලේ දේවාලය වෙත පිටත් කර යවා නෙළුම් පොහොට්ටු ගෙන්වා දුන්නේය.

සියලූ ඉල්ලීම් ඉටු කරමින් මනාව උත්සවය සංවිධාන කළ ප‍්‍රසන්නට ඩලස් පැවසුවේ ‘අපේ ආණ්ඩුවක් ආපු කාලයක මෙයා තමයි ගුවන්තොටුපළ ඇමැති. අපි අද කොළඹ ගිය ගමන් මහින්ද මහත්තයාට ඒ ඉල්ලීම කරනවා’ කියාය. ඒ අසල සිටි ගුවන්තොටුපළේ සේවයේ නියුතු ප‍්‍රසන්නගේ ආධාරකරුවකු ඩලස්ට කීවේ ‘මොන ආණ්ඩුව ආවත් මොන ඇමැති හිටියත් අපේ ඇමැති ප‍්‍රසන්න මහත්තයාම තමයි’ යනුවෙනි.

ඩලස්, නාමල්, පියංකර, ප‍්‍රසන්න, රමේෂ් ඇතුළු පිරිස නියමිත වේලාවට ගුවන්තොටුපොළින් ඇතුළු වී ගුවන් යානයටම ගොස් ගෝඨාභය පිළිගත්හ. අනතුරුව ගෝඨාභය ආධාරකරුවන් වෙත ඇවිදගෙන එන අතරතුරේ ප‍්‍රසන්නට කීවේ ‘ඔයා මං ළඟින්ම ඉන්න’ කියාය. ඒ අනුව ප‍්‍රසන්න දස මහා යෝධයකු මෙන් ගෝඨාභය අසලටම වී සිටියේය.

ගෝඨාභය පිළිගැනීමේ උත්සවය අති සාර්ථකව පැවැත්වුණු අතර ගුවන්තොටුපළේදී ගෝඨාභයට ඉහළ පිළිගැනීමක් ලැබෙන අතරතුරම පූර්ණ ආරක්ෂාවකුත් ලැබෙන අන්දමට සියලූ වැඩසටහන මෙහෙයවීමේ වගකීම ප‍්‍රසන්න විසින් මැනවින් ඉටු කරන ලදී.

ගෝඨාභය ඇතුළු පිරිස ඔහුගේ කොළඹ නිවසට පැමිණි අතර ඒ වන විට ප‍්‍රසන්න සිය නිවස බලා පිටත්ව ගොස් තිබුණි. ගෝඨාභය ඩලස්ගෙන් ඇසුවේ කෝ ප‍්‍රසන්න කියාය. වැඬේ තිතට කරලා මිනිහා ගෙදර ගිහින් ඩලස් කීවේ සිනාසෙමිනි.

‘ප‍්‍රසන්න නොහිටින්න අද අපිට ඔබතුමා පිළිගන්න වෙන්නේ පාරේ ඉඳන්. ප‍්‍රසන්න එනකම් අපි හිටියේ අසරණ වෙලා. ප‍්‍රසන්න ආවා විතරයි එහෙට ගියා මෙහෙට ගියා සේරම සෙට්ල් ඩවුන් කරලා උත්සවය ලැහැස්ති කළා. අපි මැච් එක ප්ලෑන් කළාට ඒකේ මෑන් ඔෆ් ද මැච් වුණේ ප‍්‍රසන්න’ ඩලස් පැවසීය.

‘ඒක ඇත්ත. ප‍්‍රසන්න ළඟ ඉන්න කොට මටත් ලොකු හයියක් ආවා’ ගෝඨාභය ද පැවසීය. අනතුරුව මන්ත‍්‍රීවරුන්ගේ කතාබහට ලක් වුණේ ගෝඨාභය පිළිගැනීමේ මෙහෙයුම සහ එහි වීරයා වූ ප‍්‍රසන්න
ගැනය. ඩලස් දුරකථනයෙන් අමතා ප‍්‍රසන්නට ස්තුති කරන්නට ද අමතක කළේ නැත.

සිකුරාදා ප‍්‍රසන්නට හිතවත් මාධ්‍යවේදියකු දුරකථන ඇමතුමක් දුන්නේ ඒ වන විට සමාජයේ පැතිර යමින් තිබුණු ආරංචියක් සම්බන්ධයෙනි. ආරංචිය වූයේ මෙරට ප‍්‍රධාන පෙළේ පුවත්පත් සමාගමකට 14 වැනි දා රාත‍්‍රියේ සුවිශේෂී පුවතක් පළ කරන්නට සූදානමින් සිටින ලෙසට ඉහළ තැනකින් උපදෙස් ලැබී ඇති බවය.

මාධ්‍යවේදියා කීවේ එදින පළාත් සභා මැතිවරණයට දින නියම කිරීම හෝ අගමැතිවරයා වෙනස් කර නැවතත් ජාතික ආණ්ඩුවකට යෑමේ සූදානම් ඇති බවය. එසේ වුවත් වැඩි ඉඩක් ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් බවත් මාධ්‍යවේදියා ප‍්‍රසන්නට පැවසීය. එදින ගම්පහ අවමඟුල් උළෙලක දී මුණගැසුණු නාමල්ට ප‍්‍රසන්න මෙම ආරංචිය දුන්නේය.

කාර්ය මණ්ඩලයට නිවාඩු
රනිල් නුවරඑළිය ගිහින්

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ පසුගිය සති දෙක තුන තුළ ජයග‍්‍රහණ කිහිපයක් ලබා ගත්තේය. විශේෂයෙන්ම අයවැය යෝජනා වැඩි ඡුන්දයෙන් සම්මත කරගැනීමට හැකිවීම මේ අතර ප‍්‍රධාන විය. දෙවනුව මුළුමහත් රජයටම මහත් අපවාදයකට මුහුණ දෙන්නට සිදුව තිබූ විදුලි අර්බුදය විසඳා ගෙන යළිත් රට ආලෝකවත් කරන්නට හැකිවීම තුළ ද අගමැති රනිල් ලබා ගත්තේ ලොකු ජයග‍්‍රහණයකි. කාලගුණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණේ මැයි මාසය පසුවන තුරුත් වර්ෂාව අපේක්ෂා කළ නොහැකි බවය. එම නිසා පවතින විදුලි අර්බුදයේ නරක ප‍්‍රතිපල මැයි මාසයේදීත් ජනතාවට අත් විඳින්නට හැකි වෙතැයි කාලගුණ දෙපාර්තමේන්තුව අනාවැකි පළකර තිබිණි. එහෙත් අවුරුදු දිනට පෙර දින සිට කොළඹට හා රටපුරා විදුලිය නිෂ්පාදනය කරන ජලාශ ඇති ප‍්‍රදේශවලට මහා වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය. එයද අගමැති රනිල් වික‍්‍රමසිංහගේ හදවතට යම් සහනයක් දැනුණු කාරණාවක් විය. විදුලි අර්බුදය නරක පැත්තෙන් හොඳ පැත්තට හැරෙන්නට වූයේ ඒ අයුරිනි. පසුගිය දිනවල වැසි නොමැති වුවද රටේ සමස්ත එළවළු පලතුරු නිෂ්පාදනයේ ද යම් ප‍්‍රගතියක් දක්නට ලැබිණි. මේ නිසා එළවළු මිල ගණන් ද සැලකිය යුතු මට්ටමකින් සාමාන්‍ය අතට පත්ව තිබිණි. හාල් පොල් වැනි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ද සතුටුදායක මට්ටමට පත්ව තිබුණේ රටේ ගොවිතැන් කටයුතුවලද යම් සාර්ථකත්වයක් දක්නට ලැබීම නිසාය. මේ සියලූ කරුණු කාරණා හේතුවෙන් අගමැති රනිල් මේ අවුරුද්ද තමන්ට යම් සහනයක් ලබා දුන් අවුරුද්දක් ලෙස තේරුම් ගත්තේය.

මාර්තු මාසයේ අයවැය සාර්ථකව සම්මත කර ගැනීමට ඇප කැපව වෙහෙස වෙමින් දැඩි ලෙස මහන්සියට පත් වී සිටි මන්ත‍්‍රීවරුන්ට රනිල් අවුරුද්දට හොඳ විවේකයක් දුන්නේය. සියලූ දෙනාට තමන් තමන්ට රිසි ලෙස ගම් පළාත්වලට යන්නටත් විනෝද ගමන්වල යන්නටත් විදේශ ගත වන්නටත් අවශ්‍ය අවසරය ඔහු සලසා දුන්නේ සතුටිනි. එපමණක් නොව, තමුන්ද මේ අවුරුද්ද කොළඹින් බැහැරව ඉතාමත් විවේකීව අප‍්‍රසිද්ධියේ ගත කරන්නට අගමැති රනිල් සිතා ගත්තේය… අවුරුදු සිරිත් විරිත් හා සියලූ කටයුතු නුවරඑළියේ පිහිටි නිවසේ යොදාගත් රනිල් අගමැති කාර්ය මණ්ඩලයේ සියලූ දෙනාට ද ආරක්ෂක අංශවල බොහෝ දෙනකුට ද නිවාඩු ලබා දුන්නේ රිසි ලෙස තම තමන්ගේ ගම් පළාත්වලට වී මේ අවුරුද්ද ගත කරන්නට අවශ්‍ය අවසරය හා නිදහස සලසා දෙමිනි.

අගමැති රනිල් අලූත් අවුරුදු චාරිත‍්‍ර ඉටු කරමින් පුණ්‍ය කාලයේදි නුවරඑළිය මහගස්තොට ශ‍්‍රී සේනානන්දාරාම විහාරස්ථානයට ගොස් ආගමික වතාවත්වල නිරත විය. විහාරාධිපති රාජකීය පණ්ඩිත කලූගහකඳුරේ විජිත හිමියෝ විහාරස්ථානයට පැමිණි අගමැති රනිල් ප‍්‍රමුඛ මැති ඇමැතිවරුන්ට ආශිර්වාද කරමින් සෙත් පිරිත් සජ්ඣායනා කළහ. එම අවස්ථාවට ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන ද එක්ව සිටියේය.

ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව අගමැතිවරයා සිය නිල නිවසට පැමිණ බිරිඳ මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ සමඟ එක්වී අවුරුදු චාරිත‍්‍ර ඉටු කරමින් කිරි උතුරවා එහි පැමිණ සිටි පිරිස සමඟ අවුරුදු සැමරූහ.

ඉන් අනතුරුව නුවරඑළිය නගරයට පා ගමණින් පැමිණි අගමැති රනිල් දුටු නුවරඑළියට නිවාඩුව ගත කිරීමට විවිධ ප‍්‍රදේශවලින් පැමිණ සිටි ජනතාව ඔහු සමග සුහද පිළිසඳරෙහි යෙදෙන්නට ද අමතක නොකළහ.

නුවරඑළියේ අගමැති නිල නිවස අසල හිටපු ආණ්ඩුකාර රෝහිත බෝගොල්ලාගමගේ පෞද්ගලික නිවස ද පිහිටා තිබේ. පාගමනින් නුවරඑළිය නගරය දෙසට පැමිණි අගමැතිවරයාට රෝහිත බෝගොල්ලාගම ද හමුවූවේ ඔහුද පා ගමනින් නුවරඑළිය නගරයට යමින් සිටියදී ය.

මෙවර සිංහල අලූත් අවුරුද්ද පිළිබඳ බොහෝ ජ්‍යෝතිෂ විශාරදයන් අතර විවිධ මත තිබිණි. දවසේ අපර කාලයේ යෙදුණු නැකැත් හා කාල හෝරා පිළිබඳව සමහර ජ්‍යොතිෂ විශාරදයින් තම සතුට පළ කළේ නැත. ශ‍්‍රී ලංකාවේ නැකත් කමිටුව විසින් සකසා දී තිබූ සිංහල අලූත් අවුරුදු නැකැත්වල යම් යම් දෝෂ පවතින බව ජ්‍යෝතිෂ විශාරදයන්ගේ මතය විය. එම තත්ත්වය මත උදාවන අනාගතය රටට එතරම් සුබදායක නැති බව ඔවුහු තහවුරු කරද්දී නැකත් කමිටුව ඊට උත්තර දෙමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවට අනාගත කාලය ඉතාම යහපත් වන අයුරින් කරුණු කාරණා යෙදී ඇති බවකි. මේ පිළිබඳ තර්ක විතර්ක ගණනාවක්ම පසුගිය දිනවල රටේ පැවතිණි. සමහරුන්ගේ මතය වූයේ අනාගත දේශපාලන පෙරළියක් නුදුරේම දක්නට ලැබෙන බවකි.

අවුරුදු පෙරළි අතරේ
දේශපාලන පෙරළියක්…

ඒ අතර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ආණ්ඩුව වෙනස් කරන්නට යම් සූදානමක් ඇති බවට ද කටින් කට ආරංචි පැතිර ගියේ ය. අගමැතිවරයා වෙනස් කර එක්සත් ජාතික පක්ෂයෙන්ම වෙනත් අගමැතිවරයකු පත් කරන්නටත් එක්සත් ජාතික පක්ෂයේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් සමන්විත අලූත් ආණ්ඩුවක් පිහිටුවන්නටත් ජනාධිපතිවරයා තුළ සූදානමක් ඇති බව එම ආරංචි මාර්ගවලින් කියවිණි. ඒ අතර ජනාධිපතිවරයා එජාප නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාසගේ ගුණ කියන්නට පටන්ගෙන තිබීමත් දෙදෙනා නිතර නිතර එකට මුණ ගැසීමත් සජිත් පේ‍්‍රමදාස නිතරම ජනාධිපතිවරයාගේ කටයුතු අගය කරමින් කතා කරන්නට පටන් ගෙන තිබීමත් සමහරුන්ගේ සැකය හා කුතුහලය අවුළුවන කාරණාවක් විය. මේ කාරණා නිසා සමහරු සැක පහළ කළේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහට එරෙහිව එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඇතුළේ සජිත්ගේ නායකත්වයෙන් කුමක් හෝ කැරැල්ලක් පවතින්නේ යන කාරණාව පිළිබඳව ය.

මේ අතර පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැති අවසන් දිනයේ මෛත‍්‍රි සහ සජිත් අතර විශේෂ හමුවක් පැයක කාලයක් තිස්සේ පැවැති බවට ද ආරංචි පැතිර යමින් තිබිණි.

ඒ පිළිබඳව ද නාමල් හා ප‍්‍රසන්න අතර කථාබහක් සිදු වූයේ අවට සිටි අයට නොඇසෙන්නටය.

‘අද ජනාධිපති කාර්යාලයෙන් කෝල් එකක් ආවද? නාමල් කථාබහ අතරතුර ඇසුවේය.

‘ඔව් ඔව් මොකක්ද අවුරුදු උත්සවයක් ගැන කිව්වේ’ ප‍්‍රසන්න පැවසීය.

‘මටත් කෝල් කළා. ජනාධිපතිවරයා විශේෂයෙන් මට මතක් කරන්න කිව්වලූ. මම කතා කරපු එක්කෙනාට කිව්වා එතුමටත් කියන්න මගේ උපන් දිනෙත් දවස් කීපයකට ඉස්සර තිබුණා කියලා. අවුරුදු උත්සවයට විශේෂයෙන් මාව ගෙන්නගන්න හදන කෙනාට ඒකත් මතක තියෙන්න එපැයිනේ’ නාමල් කීවේය.

‘මේ අවුරුදු නැකත් අස්සේ මොන අවුරුදු උත්සවද?’ ප‍්‍රසන්න සිනාසුණේය.

‘ඒක නම් ඇත්ත. අවුරුද්දට ඉතින් අපි ඉන්නේ ගමේනේ’ නාමල් ද පැවසීය.

‘ආණ්ඩුව මොනවාද කරන්න හදන්නේ කියලා අපිට හිතෙන හිතෙන දේවල් කොළයක ලියලා තියන්න ඕනේ. එතකොටවත් පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්නේ’ ප‍්‍රසන්න පැවසීය.

‘මම නම් ලියනවා. හැබැයි හවසට තාත්තිත් එක්ක කතා කළාම මම ලියපු සේරම විසි කරන්න වෙනවා. මොකද අපි හිතනවට වඩා වෙනස් විදියටයි තාත්ති හිතන්නේ. එයා හිතන විදිය ටික දවසක් යනකොට හරියනවා’ නාමල් පැවසීය.

අවුරුදු සමරන්න මහින්ද
කෝච්චියෙන් බෙලිඅත්තට..

රුහුණු දුම්රිය මාර්ගය බෙලිඅත්ත දක්වා සාදා අවසන් ව ඇත. පසුගියදා අදාළ බලධාරීන් විසින් එම දුම්රිය මාර්ගය මාතර සිට බෙලිඅත්ත දුම්රියපළ දක්වා කොටස උත්සවශ‍්‍රීයෙන් විවෘත කළේය. එහෙත් ඒ සඳහා ලොකු ජනතා ආරක්ෂණයක් නොලැබුණේ මෙම දුම්රිය මාර්ගය ඉදිකිරීම් පිළිබඳ ජනතා ප‍්‍රසාදය තිබුණේ වෙනත් පැත්තක නිසාය.

පසුගිය සතියට පෙර සතියේ ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරු පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවන්නට ගොස් එක්තරා ඉල්ලීමක් කළ හ.

”බෙලිඅත්ත දුම්රිය මාර්ගය අපි නැවත විවෘත කරමු…. ඔබතුමා තමයි ඒක හදන්න පුරෝගාමී වුණේ. මිනිස්සු බලාපොරොත්තු වෙනවා ඔබතුමා ඒක විවෘත කරන එක..

”මම මේ පාර අවුරුද්දට ගමේ යන ගමන කෝච්චියෙන් යන්නයි හිතාගෙන ඉන්නේ…. අපි බෙලිඅත්තට කෝච්චියෙන් යමු….

ඒ අනුව තරුණ මන්ත‍්‍රීවරු ගමන සංවිධානය කළහ. 10 වැනිදා අධිවේගී මාර්ගය ඔස්සේ මාතරට ගිය විපක්ෂ නායක මහින්ද එතැන් පටන් බෙලිඅත්ත දක්වා යෑමට මාතර දුම්රිය ස්ථානයට ගොස් බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ප‍්‍රවේශපත් මිලදී ගත්තේය….

මෙම අවස්ථාව සමරන්නට මාතර දුම්රිය ස්ථානයටත් එතනින් එහාට වූ දුම්රිය ස්ථාන 5 වෙතත් මහ සෙනගක් පැමිණ සිටීම විශේෂත්වයකි. මාතර දුම්රිය ස්ථානයේ නිලධාරීන් පැවසුවේ මෙම දුම්රිය මාර්ගය නිල වශයෙන් මීට පෙර කවුරු විවෘත කළත් මහජන ආශිර්වාදය මධ්‍යයේ සත්‍ය වශයෙන්ම විවෘත වූයේ එදින බවය.

විපක්ෂ නායක මහින්දට දුම්රිය මැදිරියට ගොඩ වන්නට ලොකු වෙහෙස මහන්සියක් දරන්නට සිදු විය. ඒ තරමටම සෙනඟ පැමිණ ඔහුට ආශිර්වාද කරන්නට පටන් ගත්හ. මහා සෙනගින් පිරී දුම්රිය මාතර දුම්රිය පොළින් පිටත්ව පිටදූව, වෙහෙරහේන, කැකනදුර, බඹරැන්ද, වැවුරුකන්නල හරහා බෙලිඅත්තට ගියේය. සෑම දුම්රිය ස්ථානයක දීම මහ සෙනඟ වට වී මහින්ද රාජපක්ෂට සුබ පතන්නට පටන් ගත්හ. දකුණු පළාතට දුම්රිය ගෙන ඒම සඳහා පුරෝගාමී වූ නායකයාට ජය වේවා යනුවෙන් සෑම තැනකදීම ජනතාව ඔල්වරසන් හඬ නගන්නට වූහ.

මෙම ගමනට මහින්ද සමග ඩලස්, කංචන විජේසේකර ඇතුළු දකුණු පළාතේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු හා පළාත් සභා මන්ත‍්‍රීවරු ගණනාවක්ම සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.

මහජන සුබ සාධනය
හා සජිත්ගේ අවුරුද්ද

මේ අතරතුර පසුගිය සතියේ කා අතර බොහෝ සේ කතා බහට තුඩුදුන් දේශපාලනඥයකු වන සජිත් පේ‍්‍රමදාස ඇමැතිවරයා 12 වන සියවස දක්වා මේ රටේ රාජකීයයන්ගේ වන්දනාමානයට පාත‍්‍ර වූ රුහුණුරට ප‍්‍රධාන විහාරස්ථානයක් වන රම්බා විහාරයට ගියේය… වලවේ ගංගා නිම්නය කෙළවරේ පිහිටි රම්බා විහාරය අනුරාධපුර පොළොන්නරු සමයේ ලංකාවේ තිබූ ශ‍්‍රී විභූතිය පිළිබඳ සාක්ෂි පෙන්වන රුහුණේ ප‍්‍රමුඛතම විහාරස්ථානය ලෙස සැලකේ… අනුරාධපුර සමයට අයත් සෙල්ලිපි හා ගල් කැටයම් සහිත ස්මාරක මෙම විහාරස්ථාන භූමියේ අප‍්‍රමාණය. මේවා සුරැකිව ආරක්ෂා කිරීමට හා එම විහාරස්ථානයේ කැණීම්වලින් මතු වන පුරාවස්තු ආරක්ෂා කිරීමට කෞතුකාගාරයක් හා විශේෂ සංරක්ෂණාගාරයක් නොමැති වීම ලොකු ප‍්‍රශ්නයක්ව තිබිණි. ඇමැති සජිත් පේ‍්‍රමදාස එහි ගියේ විහාරස්ථානය සඳහා ලක්ෂ 74 ක වියදමින් කෞතුකාගාර ගොඩනැගිල්ලක් සහ ලක්ෂ 20ක වියදමින් පොත්පත් සංරක්ෂණාගාර ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා මුල්ගල තබන්නටය….

විහාරස්ථානය වෙත පැවති අඩුපාඩුවක් දැක ඒ වෙනුවෙන් පරිත්‍යාගයක් කරන්නට විහාරස්ථානයට පැමිණි ඇමැති සජිත්ට අප‍්‍රමාණ ලෙස ස්තුතිවන්ත වෙමින් විහාරාධිපති බෙලිගල්ලේ සරණපාල හිමියෝ විශේෂ අනුශාසනාවක් කළහ.

අපි මේවා සංරක්ෂණය කරනවා විතරක් නෙවෙයි අපේ හාමුදුරුවනේ ඉදිරියේදී මේවා ඉලක්ක කරගෙන සංස්කෘතික වැඩසටහන් හා සංචාරක වැඩසටහන් ක‍්‍රියාත්මක වෙනවා. එතකොට මේ විහාරස්ථානවල දියුණුව සඳහා අපි මහන්සි වෙන්න ඕනෙ නැහැ. අවශ්‍ය ආදායම් විහාරස්ථානවලට ලැබෙන්න පටන් ගන්නවා…

මෙම විහාරස්ථානයට අයත් ඓතිහාසික ස්මාරක විනාශ වුණේ දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය ඇතිව ජාවාරම්කාරයෝ ඇවිත් මේවයි වැලි හාරගෙන ගිය නිසයි…

අපි එවැනි හෑරිල්ල සම්පූර්ණයෙන්ම නතර කරලයි තියෙන්නෙ…. ඒ විතරක් නෙවෙයි. කලින් වැලි හෑරිල්ල නිසා විනාශ වුණු ප‍්‍රදේශ යළි සංරක්ෂණය කරන්නත් අපි පියවර ගෙන තියෙනවා…

ඉන්පසුව සජිත් බෙලිඅත්ත ප‍්‍රදේශයේ හා බෙලිගල්ල ප‍්‍රදේශයේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වන්නට

ගියේය… එහිදී ප‍්‍රදේශවාසීන් සජිත්ගෙන් ඇසුවේ අවුරුදු කාලයේ විවේක ගන්නට ඇවිදින්න කොහේවත් ගියේ නැද්ද කියාය…

අපි ඉතින් මහජන සුබසාධනය වෙනුවෙන් අවුරුදු දවස්වලත් වැඩ…ඒක තමයි අපේ අවුරුද්ද… සජිත් කීවේය…

සජිත් – රවී අරගලය
නවීන් – රනිල් විසඳලා…

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයින් දෙපළක් වන සජිත් පේ‍්‍රමදාස හා රවි කරුණානායක යන දෙදෙනා කලක පටන් පොඩි මත ගැටුමක සිටියහ. රටේ යම් යම් කටයුතුවලදීත් ආණ්ඩුවේ වැඩ කටයුතුවලදී දෙදෙනාගේ අදහස් බොහෝ තැන්වලදී පරස්පර වුවත් දෙදෙනා ඒවා වෙනුවෙන් ගැටුම් ඇතිකර නොගන්නා ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට පුරුදු පුහුණුව සිටියහ. එහෙත් මේ මෑතක සිට දෙදෙනා එළිපිටම දේශපාලන වේදිකාවේ වාග් සංග‍්‍රාමවල යෙදෙන්නට වීම කා අතරත් කැපී පෙනෙන කාරණාවක් විය. ජනාධිපතිවරයා සමග එකතුවී ආණ්ඩු පෙරළියකට සූදානම් වන ආණ්ඩු පක්ෂයේම කණ්ඩායමක් ගැන පසුගියදා කනින් කොනින් ඇසුණු ආරංචිවලින් කිපුණු රවී කරුණානායක ඒ ඔස්සේ සජිත්ට දොස් කියන්ට පටන් ගත්තේය…

ඔහු තැන් තැන්වලදී කරන අදහස් ප‍්‍රකාශනයන්වල වහෙන් ඔරෝ සජිත් වෙත ප‍්‍රහාර එල්ල කළේ පක්ෂය කඩාකප්පල් කරමින් කුමන්ත‍්‍රණ කරන්නට කාටවත් ඉඩදෙන්නේ නැති බව අවධාරණය කරමිනි.

රවිගේ මෙම ප‍්‍රකාශයට උත්තර දෙමින් සජිත් පසුගිය දිනෙක පැවැති මහජන රැස්වීම්කදී කතා කළේය. ඔහු එහිදී පෙන්වා දුන්නේ මහජනතාවගේ කර මතින් මිස කුමන්ත‍්‍රණයක් ඔස්සේ අගමැතිකම් භාරගන්නට තමන්ගේ කිසිදු සූදානමක් නැති බවය. මීට පෙර 71 වතාවක් ජනාධිපතිතුමා තමන්ට අගමැතිකම භාර ගන්නා ලෙස ආරාධනා කළත් ඔහු ඒ කිසිවක් භාර නොගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ තියෙන විශ්වාසය නිසා බව සජිත් කීවේය. උත්තර දෙන අතරවාරයේ ඔහු රවී කරුණානායකට ඇනුම්පද කියන්නට ද අමතක නොකළේය….

එහෙත් සජිත් පේ‍්‍රමදාස පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී කියා සිටියේ ජනාධිපති විසින් අගමැතිකම බාර ගන්නා ලෙස තමනට 10 වතාවක් ආරාධනා කළ බවය. ඉහත කාරණය සත්‍ය නම් පසුගිය මාස 4 ක කාලයක් තුළ ජනාධිපතිවරයා තවත් 61 වතාවක් අගමැතිකම භාරගන්නා ලෙස සජිත් පේ‍්‍රමදාසට ආරාධනය කර තිබේ…

රවී කරුණානායක මෙම කරුණු අල්ලාගෙන තැන් තැන්වල දී තව තවත් සජිත්ට වාග් ප‍්‍රහාර එල්ල කළේය. පසුගිය දිනක මඩකලපු ප‍්‍රදේශයේ සංවර්ධන කටයුතු කිහිපයකට සහභාගි වූ රවී ‘පිස්සු බල්ලන් කුමක් කීවත් තමන් ඒ කිසිවක් ගණන් ගන්නේ නැති බවත් පිස්සු බල්ලන්ට කිසිලෙසකත් පක්ෂය කඩාකප්පල් කරන්නට ඉඩ නොදෙන’ බව කියමින් ප‍්‍රශ්නය තව තවත් දුරදිග ගෙන යන්නට ක‍්‍රියා කළේය.

සජිත්ගේ රතු කට්ට පැන්නේ ඉන්පසුවයි. ඔහු පසුගිය දිනක හම්බන්තොට ප‍්‍රදේශයේ එක්තරා විවෘත කිරීමකට ගොස් එම වේදිකාවේ කථා කරමින් බණ පදයක්ද කියමින් රවී කරුණානායකට බරපතළ ප‍්‍රහාරයක් එල්ල කළේ මෙසේය… ඔහු නජජ්ජා වසලෝ හෝතී… යන බණ පදය මුල් කරගෙන කතාව පවත්වණු ලැබුවේය.

තමන් වසලයෙක් ද බ‍්‍රාහ්මණයෙක් ද කියන එක තීන්දු තීරණය වෙන්නේ උප්පත්තිය නෙවෙයි… තමන් කරන කියන ක‍්‍රියාවෙන්… එක එක පුද්ගලයෝ එක එක තැන්වල එක එක විදිහේ කතා කියනවා… මිනිස්සු මේ මොනවද කියන්නේ කියලා බලා ඉන්නවා… උදාහරණයක් වශයෙන් බැංකු කඩපු පුද්ගලයා තමයි වසලයා…. බැංකුවක් හදපු පුද්ගලයා තමයි බ‍්‍රාහ්මණයා…. උදාහරණයක් වශයෙන් ජනතා සල්ලි හොරාකන, ජනතා අරමුදල්වලින් පගා ගහන, ජනතාවගේ සල්ලි හූරා කන කොමිස් ගහන ඒකා තමයි වසලයා කියලා ක‍්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා… අනුන්ට ඇඟිලි දිගු කර කර වැරදි පටවන මිනිස්සුම තමයි ක‍්‍රියාවෙන් තමන් වසලයෝ බව ඔප්පු කරල තියෙන්නේ…. ගියොත් ඒ් ඒ තැන ඉවරයි… බාරගත්තොත් වගකීමක් ඒ වැඬේ විනාසයි… ජනතාව බලාපොරොත්තු වෙන්නේ ආලෝකය…. නමුත් ජනතාවට ලැබෙන්නේ අන්ධකාරයේ ඉන්න… කවදාක හරි රටේ ජනතාව තීන්දු කරයි වසලයෝ කවුද කියලා… කවදාවත් බැංකු කඩලා හොරකම් කරලා පගා ගහලා බ‍්‍රාහ්මණයෙක් වෙන්න බෑ…. ඒ වගේ තමයි කවදාවත් තමන්ගෙ බිරිඳ ඉදිරිපත් කරලා පගා ගහලා බ‍්‍රාහ්මණයෝ වෙන්න බෑ…

මේ අයුරින් සජිත් පේ‍්‍රමදාස ඉතා බරපතළ ලෙස තම ප‍්‍රතිවාදියාට විවේචන එල්ල කළේ ගලඋඩ සටනකට ප‍්‍රතිවාදියාට ආරාධනා කරන්නාක් මෙනි…

මේ සටන මේ ආකාරයට තව තවත් දුරදිග ගියේය… රවී කරුණානායකත් සජිත් පේ‍්‍රමදාසත් යන යන හැම තැනකදීම ප‍්‍රසිද්ධියේ දෙදෙනා විවේචනය කර ගන්නට පටන් ගත්හ… සටන නරක අතට හැරෙමින් තිබෙන ආකාරය නායකයන්ට ද වැටහෙන්නට වූයේ මේ අතරතුර ය…

කෙසේ වෙතත් මේ දෙදෙනාටම පක්ෂය ඇතුළේ හොඳ අනුගාමිකයන් පිරිසක් සිටියහ… සජිත් පේ‍්‍රමදාසගේ නොයෙකුත් වාසි ප‍්‍රයෝජන ලබමින් සිටි තරුණ මන්ත‍්‍රීවරු රැසක් විටෙක කතා කළේ සජිත්ගේ පැත්තට වාසියට… ඒ ආකාරයටම මන්ත‍්‍රීවරු 24 දෙනෙක් රවී කරුණානායකගෙන් ද ප‍්‍රතිලාභ ලබමින් සිටියහ. මන්ත‍්‍රීවරුන් 24 දෙනෙකුට රවී කරුණානායක මසකට රුපියල් ලක්ෂ 2 ක් හා පාවිච්චියට වාහනයක් බැගින් ලබාදී ඇතැයි කියන කතාව පසුගිය කාලයේ චෝදනාවක් ලෙස රවීට ඉදිරිපත් වූවත් රවී එය ප‍්‍රතික්ෂේප කළේද නැත…. ඒ හා නම් බැඳුණු මන්ත‍්‍රීවරු එම චෝදනාව චෝදනාවක් ලෙස බාර ගත්තේද නැත…

එජාපයේ සිටින සටන්කාමී තරුණ මන්ත‍්‍රීවරයෙක් කියා සිටියේ මේ අවස්ථාවාදී කණ්ඩායම දෙපැත්තෙන්ම ප‍්‍රතිලාභ ලබමින් දෙපැත්තෙම ගැටුම අවුලවමින් එම තරගය උණුසුම් තත්ත්වයට පත්කරමින් දෙපැත්තෙන්ම වාසි ලබා ගන්නට ක‍්‍රියාකරන බවය…

කෙසේ වෙතත් මෙම ගැටුම් පක්ෂයේ අනාගත සුබසිද්ධියට එතරම් යහපත් නොවන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ හා පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක හොඳ හැටි තේරුම් ගත්හ…. නවීන් අගමැති රනිල් හමුවී මෙම ගැටුමට මැදිහත් වී වහාම ප‍්‍රශ්නය නිරාකරණය කරන්නට ඉදිරිපත් වන්නයි කියා සිටියේය…

අමරපුර මහා නිකායෙන්
කරුට අවුරුදු තෑග්ගක්…

කථානායක කරු ජයසූරිය පසුගිය අවුරුදු දා අලූත් අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර කළේ බම්බලපිටිය අමරසේකර මාවතේ පිහිටි සිය නිවසේ සිටය… පුරුදු පරිදි මේ අවුරුද්දෙත් වෛද්‍ය වසන්ත ජයසූරිය මැතිනිය සමග සිංහල අලූත් අවුරුදු චාරිත‍්‍රවලට සහභාගි වූ කථානායකවරයා එම අවස්ථාව මාධ්‍ය තුළින් වාර්තා කරන්නට පැමිණි වාර්තාකරුවන්ට ද ඉහළ ගණයේ සංග‍්‍රහයක් කරමින් සුහදව කතාබහ කළේය…

පුරා අවුරුදු 48 ක් තිස්සේ අපි දෙන්න එකතු වෙලා ලිප් බැඳ ගිනි මොළවලා කිරි උතුරවලා මේ අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර ඉටු කළා. ඒ වත් පිළිවෙත් අපේ ජීවිතවලට ආශිර්වාදයක් වුණා. එහෙම කිරි උතුරුවලා අවුරුද්ද පටන් ගන්න මූලික වුණේ මගේ බිරිඳයි. ඇය සැබෑ මාතු භාර්යාවක්. මගේ කාර්ය බහුල ජීවිතයේ හැම දෙයක්ම ඇය උපේක්ෂාවෙන් දරා ගත්තා. මගේ බිරිඳ තිරය පිටුපස සිටියත් ඇය ගැන මට තිබෙන්නේ විශාල ගෞරවයක්. ඇත්ත වශයෙන්ම රටේ සංහිඳියාව ඇති කිරීම ආරම්භ කළ යුත්තේ පවුලෙන්. පවුල තුළ එකිනෙකාට ගරු කරන විට එහි සාමාජිකයන් මහා සමාජයේදී සමබරව කටයුතු කරන්නට ඉගෙන ගන්නවා.

මාධ්‍යවේදීන් සමග එසේ පවසමින් සිංහල චාරිත‍්‍රානුකූලව වත්පිළිවෙත් ඉටු කළ කථානායකවරයා මෙවර වැඩ ඇල්ලීමේදී ලෝක ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථයක් කියවන්න පටන් ගත්තේය…

ඒ සිය සමීප ජර්මානු විද්වතෙකු වූ මහාචාර්ය ඩොල්සර් (Dolzer) විසින් මින් දශක තුනකට පෙර රචනා කළ ලෝකයේ වර්තමාන පාරිසරික අභියෝග පිළිබඳව සඳහන් වන ප‍්‍රකට ග‍්‍රන්ථයයි. පරිසර සමතුලිතභාවය පිළිබඳව සමස්ත රට වැසියන්ගේ අවධානය යොමු විය යුතු මොහොතකට අප එළඹ ඇති බැවින් සිය මිත‍්‍ර ජර්මානු මහාචාර්යවරයාගේ පුරෝකථනය යළි කියවීමට අවශ්‍ය වූ බව කරු ජයසූරිය මහතා මාධ්‍යවේදීන් සමග කීවේය.

මේ අතර අමරපුර සංඝ සභාවේ මහානායක අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමිපාණන් වහන්සේගේ ඉල්ලීමක් අනුව කථානායකවරයා 16 වැනිදා පස්වරුවේ අමරපුර සංඝ සභාවේ විධායක මහා කාරක සංඝ සභාව රැස්වන ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානය වෙත ගියේය….

පවුලේ සාමාජිකයන් සහ හිතවතුන් පිරිසක් ද කැටුව එහි ගිය කථානායකවරයා මහා නායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ කාරක මහා සංඝ සභාවේ නායක හිමිවරු බැහැ දුටුවේය.

එහිදී මහානායක හිමියන් කථානායකවරයාට අමරපුර සංඝ සභාවේ මහානායක හිමිවරුන් ඒකාබද්ධව ගන්නා ලද විශේෂ තීරණයක් දැනුම් දෙන්නට කටයුතු කළහ…

සංඝ සභාවේ ඒකමතික තීන්දුව පරිදි විශේෂ ගෞරව සම්මානයක් පිරිනැමීමට තීරණය කර ඇති බව මෙහිදී අනාවරණය කෙරිණි… කථානායකවරයාගේ ආදර්ශමත් දිවි පැවැත්ම අගය කරමින් නායක හිමිවරු කිහිප දෙනෙක්ම අදහස් දැක්වීම ද විශේෂත්වයකි.

විපක්ෂයේ සිට සමරන
අන්තිම අවුරුදු උත්සවය…

15 වැනි දා ප‍්‍රසන්න අලූයම 4.30ට උඩුගම්පොළ නිවසින් පිටත්ව ගියේ මහින්දට සුබපැතීමටය. අවුරුදු දා කාල්ටන් නිවසේ සිට මැදමුලන බලා ගිය මහින්ද එදින රාත‍්‍රිය ගත කර තිබුණේ වීරකැටිය වත්තේය. ඒ අනුව ප‍්‍රසන්න කෙළින්ම ගියේ වීරකැටිය වත්තටය. අනතුරුව මහින්ද ප‍්‍රසන්නත් කැටුව කාල්ටන් නිවසට ගියේ එදින උදෑසන සිටම ජනතාව එහි පැමිණෙන්නට පටන් ගෙන තිබුණු බැවිනි. උදෑසන ආහාරයෙන් පසු ප‍්‍රසන්න සහ මහින්ද කාල්ටන් නිවසේ වෙනම ස්ථානයක පැයකට ආසන්න කාලයක් කථා බහ කරමින් සිටියේ ඉදිරි දේශපාලන වැඩ පිළිවෙළ පිළිබඳවය.

පළාත් පාලන මන්ත‍්‍රී සංසදය සහ පළාත් සභා මන්ත‍්‍රී සංසදයේ සාමාජිකයෝ පසුගිය සෙනසුරාදා (13) කැවුම්, කොකිස්, කිරිබත් කදමලූ බැඳගෙන මහින්දගේ කාල්ටන් නිවසට ගියහ. ඔවුන් එකතු වී අවුරුදු උත්සවයක් ද පැවැත්වූයේ මහින්ද ප‍්‍රධාන ආරාධිතයා කරගනිමිනි. එදින පැවැත්වුණු සියලූ තරග මෙන්ම පිරිනැමුණු ත්‍යාග ද ආණ්ඩුවේ වැඩවලට සම්බන්ධ ඒවා වීම සුවිශේෂී කරුණකි.

එක් තරගයක් වූයේ මහ බැංකුව බිඳීමේ තරගය ය. බැලූන් පුපුරවමින් මහ බැංකුව බිඳීමේ තරගය ජයග‍්‍රහණය කළ ජයග‍්‍රාහකයාට හිමිවූයේ ලැම්බෝගිනියකි.

ලැම්බෝගිනිය මහින්ද අතට පත් කෙරුණේ ආණ්ඩුවට සොයා ගත නොහැකි වූ නාමල්ගේ ලැම්බෝගිනිය හමු වූ බව කියමිනි. රත්තරන් අස්සයාට ඇහැ තැබීමේ තරගයක් ද තිබුණු අතර එහි ජයග‍්‍රාහකයාට හෙලිකොප්ටරයක් හිමි විය. මහින්ද ජයග‍්‍රාහකයාට සෙල්ලම් හෙලිකොප්ටර් දෙද්දී වලල්ලාවිට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උදේනි අතුකෝරාල කීවේ මේ තමයි මහින්ද මහත්තයගේ ආණ්ඩුව කාලේ නුවරඑළියේ රේස් පදින්න නාමල් මහත්තයලා උදේ හවහ ගියායි කියන මේ ආණ්ඩුව හොයාගත්ත හෙලිකොප්ටරය කියාය. මහින්ද ඇතුළු සියල්ලෝ ඊට මහ හඬින් සිනාසුනහ.

තරග අවසානයේ මහින්ද මන්ත‍්‍රීවරුන්ට කීවේ විපක්ෂයේ සිට සමරන අවසන් අලූත් අවුරුද්ද මෙය බවය. ඊළඟ අවුරුද්ද සමරන්නේ ආණ්ඩුවේ සිට බව කී මහින්ද මෙතෙක් කල් වැඩ කළ ආකාරයටම ඉදිරියටත් වෙහෙස වී වැඩ කරන්නැයි මන්ත‍්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.

මහින්ද පසුගිය අඟහරුවාදා (16) සවස කතරගම බලා ගියේය. කිරිවෙහෙර හා කතරගම දේවාලය ද වැඳපුදා ගත් මහින්ද කෙලින්ම කොළඹ අවේ පසුදින බෙල්ලන්විල රජමහා විහාරයේ පැවැත්වෙන හිසතෙල් ගෑමේ උළෙලට සහභාගීවීමට තිබූ නිසාය.

සිංහල දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් හිස තෙල් ගෑමේ නැකත යෙදී තිබුණේ බදාදා පෙ.ව 7.40 ටය. මහින්ද සමග මෙම අවස්ථාවට ගෝඨාභය රාජපක්ෂ මහතා ද එක්ව සිටියේය.

හිසතෙල් ගෑමේ උත්සවයෙන් පසුව හිටපු මහින්ද හා ගෝඨාභය බෙලිඅත්ත රජමහ විහාරාධිපති බෙල්ලන්විල ධම්මරතන හිමියන් කීවේ තමන්ට නුවරට සිට කොළඹට එන්නට පැය හතර හමාරක් ගිය බවයි.

”අපි පටන්ගත්ත වැඩ මේ ආණ්ඩුව නැවැත්තුවනේ… අපේ හාමුදුරුවනේ… රට අවුරුදු කිහිපයක් ආපස්සට ගියා…” මහින්ද ඊට උත්තර දෙමින් කීවේය.

”ඒ අවුරුදු කීපය ආපස්සට ඇදීම ආපහු අල්ලගන්න බෑනේ…” ධම්මරතන හිමියන් කීවේය.

ජනපති කී කතාවකට
තටු ලැබුණේ මෙහෙමයි…

අවුරුදු නිවාඩුව අවසන් කළ අගමැතිවරයා ඉකුත් බදාදා කොළඹ පැමිණ සිය නිල රාජකාරි ආරම්භ කළේය. පළමුව ඔහු වරාය නගර ව්‍යාපෘතියේ මෙන්ම වරාය අධිකාරියේ නිලධාරීන් හමුවී එහි වැඩ කටයුතු පිළිබඳ සොයා බැලූ අතර එම ව්‍යාපෘතියේ ඉදිකිරීම කරනා චයිනා මර්චන්ට් සමාගමේ නිලධාරීන් ද ඊට සහභාගි වී සිටියහ.

”මේ ව්‍යාපෘතියෙන් බදු ගෙවීම් නිසි ලෙස රටට ලැබිලා තිබෙනවා ද? අගමැති නිලධාරීන්ගෙන් විමසා සිටියේය. එම බදු මුදල නිසි ලෙස ලැබෙන්නේදැයි අගමැතිවරයා එහිදී විමසා බැලූවේය.

අවුරුදු නිවාඩුවට ගම්රටවල් බලා ගොස් සිටි මැති ඇමැතිවරු සුපුරුදු පරිදි ඉකුත් බ‍්‍රහස්පතින්දා අරලියගහ මන්දිරයට පැමිණියේ අගමැතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡුාවට සහභාගි වීමටය. අගමැතිවරයාට අවුරුදු සුබ පැතුම් එක් කළ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මුලින්ම හඬ අවදි කළේය.

”සර් අවුරුදු දවස්වල ආණ්ඩුව පෙරළෙනවා… ඇමැතිවරු අත්අඩංගුවට ගන්නවා වගේ කතා ගියා. හැබැයි මුකුත් වුණේ නැහැනේ….

ඔහුගේ පැනයට අගමැතිවරයා සිනාසෙද්දි හඬ අවදි කළේ රන්ජන් රාමනායකය…

ඕක ඔය ජනාධිපතිතුමා මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේ කරපු කතාවක්නේ. කර්තෘවරු අලූත් ආරංචි අහද්දි එතුමා කියලා තියෙනවා අවුරුදු නැකත් උදාවෙන කොට හොඳ දෙයක් වෙයි බලා ගන්නකෝ කියලා… මේ කතාවට නේ සර් තටු හම්බ වෙලා තියෙන්නේ… රන්ජන් කීවේ කාගේත් සිනාමැදය.

”පුවත්පත්වල සේවකයන්ට අවුරුදු දවසෙත් වැඩට එන්න වෙයි කියලා ප‍්‍රධානීන් දැනුම් දීලා තියෙනවා…” වෛද්‍ය කාවින්ද ජයවර්ධන හඬ අවදි කළේය.

”ගෝඨභය රාජපක්ෂත් කියලා තිබුණා ඇමරිකාවේදි නඩු දැම්මා කියන කාරණය ගැන නීත්‍යානුකූල විදියට ලියැවිල්ලක් භාර දීලා නැහැ කියලා…” චමින්ද විජේසිරි නැවතත් ප‍්‍රශ්නයක් යොමු කළේය.

”එයා හිතාගෙන ඉන්නේ ලංකාවේ වගේ රාජ්‍ය නිලධාරියෙක් ඇවිත් ඒක බාර දෙනවා කියලායි. ඇමරිකාවේ එවැනි සිතාසි බාර දෙන්නේ පෞද්ගලික කොම්පැණි හරහායි. ඔවුන් ඉන්න තැනක් බලලා ගිහින් දෙනවා.

”ජනාධිපති බුද්ධගයා යන්න හදපු එකත් අසාර්ථක වෙලා නේද… චමින්ද විජේසිරි යළිත් විමසා සිටියේය.

”ඔව් මේ කාලේ බිහාර් ප‍්‍රාන්තයේ ඡුන්දය තියෙන නිසා ගැටලූවක් මතු වෙලා තියෙනවා. ඒක නිසා තිරුපති වඳින්න ගිහිල්ලා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පහදා දුන්නේය. ජපානෙත් යන්න බැරිවෙච්ච නිසා ජනාධිපතිතුමා එතනින් සිංගප්පූරුවට ගිහිල්ලා තියෙනවා. කිරිඇල්ල තවත් විස්තර කීවේය.

8 total views, 1 views today

Please follow and like us:
0

ගෝඨාට එරෙහි ෆොන්සේකා කැඳවයි

රට නිමක් නැති දේශපාලන හා ආර්ථික අර්බුද රැසක ගිලී සිටියද, ඒවා විසඳීම පැත්තකට තබමින් ලංකාවේ සියලු

66 total views, 3 views today

Please follow and like us:
0