අප සැමගේද පොදු උරුමය බෞද්ධ චින්තනයයි – කාදිනල් හිමිගේ වෙසක් දින සුභපැතුම

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

‘‘වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් බවට පත්ව ඇත. එහෙත් බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රියට පමණි.“

අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වෙසක් දින පණිවුඩයක් නිකුත් කර තිබේ.

එහිදී අති උතුම් කාදිනල්තුමා අවධාරණය කරන්නේ බෞද්ධ චින්තනය සියලු දෙනාගේම පොදු උරුමය බවයි. අදහන ආගම කුමක් වුවත්, ඒ හැම ආගමකටම බොදු දහම සරු පසක් බවත්, එයට හේතුව කිතු දහම ඇතුළුව ලොව සියලු ප්‍රධාන ආගම්වල පදනම වන්නේ ප්‍රේමය හෙවත් මෛත්‍රිය වීම බවත් උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරති.

සම්පූර්ණ වෙසක් දින පණිවුඩය පහත දැක්වේ.

‘‘බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන තෙමගුල සමරන අති පූජනීය වෙසක් පුර පසලොස්වක පොහෝ දින සමස්ත සැදැහැවත් බොදුනු ජනතාව වෙත මාගේ සුභාශිංසන පළ කරන්නේ ඉමහත් සෙනෙහසිනි. තවද මා එසේ කරන්නේ මානව වර්ගයා කෙරෙහි පමණක් නොව සියල් සත්වයා කෙරෙහි ද මෛත්‍රිය පෑමට මනුෂ්‍යයාට කියාදෙන උතුම් බෞද්ධ ජීවන දර්ශනය කෙරේ පෞද්ගලිකවම මා තුළ ඇති විශේෂ ගෞරවය පෙරදැරිව ය.

වසර 2500 කටත් වඩා වැඩි කාලයක් තිස්සේ මෙරට ජන විඥානයත් ආගමික සභ්‍යත්වයත් පෝෂණය වූයේ බෞද්ධ චින්තනයෙන් බව නොරහසකි. තවද එය මේ රටේ උපන් බොදුණු සහෝදර සහෝදරියන්ගේ පමණක් නොව අප සැමගේ ද පොදු උරුමය ය. අප අදහන ආගම කුමක් වුවත්, ඒ හැම ආගමකටම බොදු දහම සරු පසකි. එය එසේ වන්නේ කිතු දහම ඇතුළු ලොව ප්‍රධාන ආගම් සියල්ලේ ම පදනම ප්‍රේමය හෙවත් මෛත්‍රිය වන නිසා ය. ක්‍රිස්තුස් වහන්සේ අපට උගන්වන්නේ දෙවියන් වහන්සේ යනු ප්‍රේමය ය (1 ජුවාම් 4:8) කියාය.

විශේෂයෙන් මේ වසරේ අපට වෙසක් උත්සවය සමරන්නට සිදු වී ඇත්තේ වෙනදාටත් වඩා අපේ ආගමික පැවැත්ම පරීක්ෂාවට ලක්වන සමයක ය. වෛරය ආගම කරගත් ත්‍රස්තවාදය අද ප්‍රේමයේ ආගම් සියල්ලටම බලවත් අභියෝගයක් බවට පත්ව ඇත. එහෙත් බද්ධ වෛරය සහ ප්‍රචණ්ඩත්වය පරාජය කිරීමට හැක්කේ මෛත්‍රියට පමණි. එය අප අදහන සෑම ආගමක්ම අපට උගන්වන පරම සත්‍යයයි. එබැවින් එය අප අධ්‍යාත්මික පැවැත්මේ කේන්ද්‍රය කර ගැනීමට වෙර දරමු. වෛරයේ ගිනි නිවා සියල්ලන් සුවපත් කර උතුම් වූ දැහැමියාවකට පියවර නගමු. ඔබ සැමට සුපින්බර වෙසක් මංගල්‍යයක් වේවායි ඉත සිතින් පතමි.

  • මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ
    කොළඹ අගරදගුරුතුමා
    2019 මැයි 17 වැනිදා
Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *