මෙවර මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබාගන්නවා : මෝදි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

මෙවර මැතිවරණයෙන් සිය පාලක සන්ධානය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගන්නා බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි පවසා තිබේ.

මැතිවරණයේ අවසන් අදියරක් පැවැත්වීමට නියමිතව තිබියදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඉන්දීය මහ මැතිවරණයේ අවසන් අදියර එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඊට සමගාමීව හර්යානා ප්‍රාන්තයේ රෝටක් නගරයේ පැවති මැතිවරණ රැළියකට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි එක්ව සිටියේය.

රැළියෙන් අනතුරව රොයිටර් පුවත් සේවයට අනුබද්ධ මාධ්‍ය ආයතනයක් වන ANI සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා ඇත.

මෙවර පැවැත්වෙන මැතිවරණයෙන් ඉන්දීය පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත් කර ගන්නා සේ ම හින්දු ජාතිකවාදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි තවත් වසර පහක් ඉන්දියාව පාලනය කරන්නේ ද යන්න තීරණය කෙරෙනු ඇති.

ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ඉන්දීය කොංග්‍රසය නියෝජනය කරන රාහුල් ගාන්ධියි.

පසුගිය දා කාශ්මීර ප්‍රදේශයේ දී ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසකට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයත් සමග කාශ්මීර අර්බුදය නැවතත් කරළියට පැමිණ අතර ඒ ආශ්‍රිත සිදුවීම් සමුදාය අග්‍රාමත්‍ය මෝදිගේ ජනප්‍රියත්වයට හේතු වී ඇති බව විචාරකයින් පෙන්වා දෙන්නේය.

ඒ හේතුවෙන් ඔහු මෙවර මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමේ වැඩි සම්භාවිතාවයක් පවතියි.

2014 මහ මැතිවරණයේදී අග්‍රාමත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වයෙන් යුතු භාරතීය ජනතා පක්ෂය ආසන 282ක් දිනා ගත්තේය.

මෙවර මැතිවරණයෙන් එම ජයග්‍රහණයද ඉක්මවා යාමට බලාපොරොත්තු වන බව ඔහු මෙම සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් පවසා සිටියේය.

ඉන්දීය මැතිවරණය ලෝක ඉතිහාසයේ සිදුවන සුවිශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයයි.

ලෝක ජනගහනයෙන් 10%ක් නියෝජනය කරන මිලියන 900ක් වන ඉන්දීය වැසියන් පිරිසක් ජන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවට ඇස්තමේන්තුගත කර තිබේ.
 
මහ මැතිවරණයෙන් ඉන්දියාවේ ලොක් සභාවට තෝරා පත් කෙරෙන මන්ත්‍රී සංඛ්‍යාව 573 ක්. 

ඉන් ආසන 272ක් හිමි කර ගන්නා පක්ෂයට හෝ සන්ධානයට රටේ ආණ්ඩු බලය හිමි වේ.

ඉන්දීය මහ මැතිවරණයේ ජන්ද ප්‍රතිඵල මැයි මස 23 වන දා නිකුත් කිරීමට නියමිතයි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *