බ්‍ර්තාන්‍යයන්ට ලංකාෙව් කැමවල රස ගෙන ගිය අම්මයි දුවයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

අවුරුදු දෙකක කුඩා දැරියක ලෙස බ්‍රිතාන්‍යයේ පදිංචියට යන ශාක්‍යා වර්තමානයේ බ්‍රිතාන්‍ය රජයට සිය සේවය සපයන උගත් තරුණියකි. University collage of London^ හි පශ්චාත් උපාධිධාරිනියක වන ඇය ශ්‍රී ලාංකික ආහාරවලට දක්වනුයේ අසීමිත ඇල්මකි. මේ නිසාම ඇය මෙරට ආහාරපාන පිසීමට දැඩි උනන්දුවක් දක්වන අතරම ඒවා පිසින ආකාරය ඇයගේ %ශ්‍රී ලන්කන් සපර් ක්ලබ්^ නමින් වන වෙබ් අඩවිය හරහා විදේශිකයින්ට හඳුන්වා දෙයි. 

විදේශයක ජීවත් වෙමින් කාර්යය බහුල ජීවිතයක් ගතකරන තරුණියක ලෙස ඇය සිදුකරන මේ අපූරු කටයුත්ත මෙන්ම විදේශයක ජීවත් වුවද අවුරුද්ද සැමරීමට සියලු චාරිත්‍රවාරිත්‍ර ඉටුකරන්නට අමතක නොකරන ඔවුන්, මෙරට ජීවත්වන අප කාටත් ආදර්ශයක් වන නිසාම මේ අවුරුද්දේ ඇය හා ඇයගේ මව සමග අපි කළ සංවාදය මෙලෙස සටහන් කරමු.

ශාක්‍යා උයන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන කාලයේදීයි

“මගේ නම ඩල්සි නයනාදරී වලිසාදීර. මගේ සැමියා නීතිඥවරයෙක් විදිහට කටයුතු කරද්දී මම රජයේ පාසලක ගෘහ විද්‍යා ගුරුවරියක ලෙස කටයුතු කළා. මගේ සැමියාගේ අධ්‍යාපන කටයුතුවලට බ්‍රිතාන්‍යට යද්දී අපි හැමෝටම එහේ පදිංචියට යන්න අවස්ථාව ලැබුණා. ශාක්‍යාට එතකොට අවුරුදු දෙකයි. ශාක්‍යාට අවුරුදු 12ක් වෙනකන් අපිට ලංකාවට එන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. එහේ ඉද්දී %චැනල් 5^ නාළිකාවේ වැඩසටහනක් කළා %රූටඩ්^ යන නමින්. එම වැඩසටහන කළේ විදේශ රටවල ජීවත්වන තමන්ගේ මවුබිමට නොගිය ළමයින් පළමුවරට තමන්ගේ රටට ගියාම ලැබෙන අත්දැකීම හා ජීවත්වන රටේ ලබන අත්දැකීම් පිළිබඳවයි.

මේ වැඩසටහනට ශාක්‍යාට අවුරුදු 12දී සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මම මවක් විදිහට ගෙදර ඉවුම් පිහුම් කරලා තමයි දුවලා දෙන්නට කෑමට දුන්නේ. පිටින් කෑම ගෙනත් කන්න දෙන්න මට අවශ්‍ය වුණේ නැහැ. ඒ වගේම මට ඕන වුණා ලංකාවේ කෑමවල රස මගේ දුවලා දෙන්නට විඳින්න දෙන්න. ඔයාලගේ  අම්මාට ඕනම කෑමක් හදන්න පුළුවන් නිසා වගේම උණු උණුවෙන් කෑම රස බලන්න ලැබෙන නිසා ඔයාලා හරිම වාසනාවන්තයි කියලා මගේ සැමියා හැම වෙලාවෙම දුවලා දෙන්නට කියනවා. මම ඉදි ආප්ප හැදුවම දුවලා දෙන්නා වට්ටියෙන් අරන් උණු උණුවෙන් කනවා. මම මේ රටින් යද්දී තුන පහ වර්ග විතරක් නොවෙයි ඉඳි ආප්ප වංගෙඩිය, කොකිස් අච්චුව, ආප්ප තාච්චිය වගේ කෑම හදන්න අවශ්‍ය උපකරණ ආදිය අරන් ගියා. එහේ ඉන්දියානු වෙළෙඳ සැල්වලින් කුළු බඩු මිලදී අරගෙන අපේ තුනපහ වර්ග හදාගන්න හැකියාවක් තිබෙන නිසා තුන පහ වර්ග එහෙදිත් හදාගන්නවා. ශාක්‍යයි එයාගේ අක්කයි නිතරම මගේ පිටිපස්සෙන් හිටියා. මමත් රැකියාවක නිරතවන නිසා ඉක්මනින් ඉවුම්පිහුම් කරලා කුස්සියෙන් එළියට එන්න පුරුදු වෙලා හිටියා. ඒ නිසා මගේ දුවලා ඉවුම්පිහුම්වලට කුඩා කාලයේදී සම්බන්ධ කරගන්න අවස්ථාවක් ලැබුණේම නැති තරම්. ශාක්‍යා උයන්න පටන් ගත්තේ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු කරන කාලයේදීයි.” ශාක්‍යාගේ මව වන ඩල්සි සංවාදයට ප්‍රවේශයක් එක්කරමින් පැවසුවාය.

බ්‍රිතාන්‍ය රජයේ වගකීම් සහිත රැකියාවක නිරතවන ශාක්‍යා සිංහල කෑමවලට ඇති ආසාව නිසාම ඇයගේ විනෝදාංශය බවට සිංහල කෑම සකස් කිරීම පත්කර ගෙන තිබේ. ඇය අප සමග සංවාදයට එක් වෙමින් මෙලෙස පැවසූවාය. මම මීට අවුරුදු තුනකට කලින් සිංහල ආහාර පිළිබඳව ලියන්නට පටන් ගත්තා

අපි පොඩිකාලයේ ඉඳන්ම කෑවේ අම්මා ගෙදරදී උයලා දෙන කෑමයි. යාළුවෝ කඩෙන් කෑම කද්දී මමයි මගේ අක්කයි පොඩි කාලයේ ඉඳන්ම ගෙදර උයන කෑම කන්න පුරුදු වෙලා හිටියා. මම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ නේවාසිකව. මට සිංහල කෑමවල අඩුව දැනෙන්න ගත්තේ මේ කාලයේදීයි. මේ නිසාම මම අම්මට දුරකථනයෙන් කතාකරලා සිංහල කෑම හදන්නේ කොහොමද කියලා රෙසිපි ඉල්ලගෙන උයන්න පටන් ගත්තා. එතකොට මට අවුරුදු 18ක් වගේ. අපිට හොස්ටල් එකේ වෙනම කෑම උයාගන්න පහසුකම් ලබාදීලා තිබුණා. ඒ නිසා මම සිංහල කෑම වර්ග උයන්න ගත්තා. ගෙදර ඇවිත් මම ඒවා හැදුවම අම්මයි තාත්තයි අඩුපාඩු මොනවත් කිව්වේ නැති නිසා මම හොඳට උයනවා කියන එක මට තේරුණා. දැන් මටයි අක්කටයි හොඳට සිංහල කෑම උයන්න පුළුවන්. එංගලන්තයේ ජීවත්වෙන බොහෝ දෙනා හිතන්නේ සිංහල කෑම කියන්නේත් ඉන්දියානු කෑමම තමයි කියලයි. ඉන්දියානු කරි වර්ග රසවත් වුණත් ඒවා තෙල් අධික වගේම ගොරෝසු බවින් වැඩියි. සිංහල ආහාර රටාවේ උදෑසන ආහාර, දිවා ආහාර, රාත්‍රී ආහාර විදිහට ගතහැකි ආහාර වර්ග හා වෙන වෙනම සෑදිය හැකි කරි වර්ග පවතිනවා කියන දැනුම බ්‍රිතාන්‍යයන්ට නොමැති බව මට පෙනී ගියා. ඒ නිසා මම මීට අවුරුදු තුනකට කලින් සිංහල ආහාර පිළිබඳව ලියන්නට පටන් ගත්තා. එයින් මම සිංහල ආහාර රටාවන් හා ආහාර වර්ග පිළිබඳ දැනුමක් විදේශිකයන් වෙත අරන් ගියා. මීට වසරකට පමණ පෙර බීබීසී සේවය මාත් එක්ක සම්බන්ධවෙලා මගේ ඉවුම්පිහුම් කටයුතු පළකරන්නට වුණා. මම කිරිබත් කන්න ආසයි. ඒ වගේම ලංකාවේ විවිධ එළවළු වර්ග උයන්න මම ආසයි. මට ඉස්සෝ ව්‍යාංජනය රසට හදන්න පුළුවන් වගේම රස බලන්නත් ගොඩාක් ආසයි. මම එළවළු එක්ක බත් කන්න ගොඩක් ආසයි.*
මම සතුටින් රැකියාවේ නිරත වෙන ගමන්ම සිංහල කෑම හදන්න තියෙන ආසාව නිසාමයි එයට වෙලාව හොයා ගන්නේ

ලංකාවේ අම්මලා ගෙදර කුස්සියේ ඉව්වට ඔවුන් උයන ආකාරය ගැන රෙසිපි ලියලා තමන්ගේ ළමයින්ට දෙන්නේ නැහැනේ. නමුත් අපිට විශ්වවිද්‍යාලයේ ඉද්දී උයන්න ඕන වුණාම අපි අම්මට කිව්වා රෙසිපි ලියලා ඊමේල් කරන්න කියලා. අම්ම ලියලා එවන ඒවා අපි උයනවා. ඒවා ගෙදර ඇවිත් උයද්දී අම්මා අඩුපාඩු කියලා දෙනවා. මම රෙසිපි ලියද්දී ඒවා බලන විදේශිකයින්ට හරියටම මේක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගැටලු ඇති වෙන්න ඇති කියලා මට තේරුණා. ඒ නිසා %ශ්‍රී ලංකන් සපර් ක්ලබ්^ එක මම ආරම්භ කළා.

බ්‍රිතාන්‍යයන් ලංකාවේ සංචාරය කරලා ආවම ඔවුන්ට ලංකාවේදී රස බැලුව ආහාර මතකයට නැගෙනවා. ඔවුන්ට ඒවා යළි රස බලන්න අවස්ථාවක් ලැබෙන්නෙම නැහැ. නමුත් %ශ්‍රී ලංකන් සපර් ක්ලබ්^ හරහා මම ඒ අවස්ථාව උදාකර දීලා තිබෙනවා. විශේෂයෙන්ම රෙසිපි බලලා සිංහල කෑම උයන්නත් මම කියලා දීලා තිබෙනවා. ඒ වගේම අපේ ක්ලබ් එකේ සිංහල කෑම හදන ආකාරය සති අන්තයේදී පෙන්වා දෙන ගමන් ඒවා රස බලන්න අවස්ථාවත් උදාකර දෙනවා. පරිප්පු කරි හදන්න, පොල් සම්බෝල හදන්න, පොල් රොටී හදන්න වගේ දේවල්වලට ඔවුන්ගේ හොඳ උනන්දුවක් තිබෙනවා. අපි සති අන්තයේ දොළොස් දෙනෙකු වගේ කණ්ඩායමක් ඉස්සරහා කෑම හදන ආකාරය පෙන්වලා ඔවුන්ට එම කෑම රස බලන්න අවස්ථාව ලබාදෙනවා. 

ලංකාවෙන් ගිහින් එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයිනුත්  ඇතැම් අවස්ථාවල අපේ සපර් ක්ලබ් එකට ඇවිත් ඔවුන්ට අහිමි වුණ සිංහල කෑමවල රස විඳගනු ලබනවා. අපි සපර් ක්ලබ් එක පවත්වාගෙන යන්නේ සාම්ප්‍රදායික රෙස්ටුරන්ට් එකක් විදිහට නොවෙයි. ඉතාම පිළිවෙළට පිරිසුදුව පවත්වාගෙන යන සපර් ක්ලබ් එක ආහාරපාන ගැනීමේ අලුත් කලාවක් හඳුන්වා දුන් ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 

අපි රෙස්ටුරන්ට් එකකට හරි ගෙදරකට හරි කෑම වේලකට ගියොත් අපිට අත්විඳින්න ලැබෙන්නේ මේසය මතට ගේන ආහාරවල රස පමණයි. ශ්‍රී ලංකන් සපර් ක්ලබ් එකෙන් ඒ ආහාර සකස් කරන ආකාරය අත්විඳින ගමන් ආහාරවල රසත් විඳගන්න අවස්ථාව ලැබෙනවා. මම බ්‍රිතාන්‍ය රජයට සේවය කරනවා. එය ඉතාම වගකීම් සහගත රැකියාවක්. මම සතුටින් රැකියාවේ නිරත වෙන ගමන්ම සිංහල කෑම හදන්න තියෙන ආසාව නිසාමයි එයට වෙලාව හොයා ගන්නේ. මොකද මගේ රැකියාවත් එක්ක කෑම උයන්න, ශ්‍රී ලංකන් සපර් ක්ලබ් වෙනුවෙන් කෑම වට්ටෝරු ලියන්න හා  වෙබ් අඩවිය යාවත්කාලීන කරන්න වෙලාව වෙන්කරගන්නේ හරිම අමාරුවෙන්. ඒ වගේම ලංකාවට සංචාර කටයුතුවලට ආවමත් මම සිංහල ඉවුම්පිහුම්වල නිරත වෙන්න කාලය වෙන් කර  ගන්නවා. මේ පාර මම %කැෆේ ප්ලස් නයින් ෆෝ^ කියන රෙස්ට්ටුරන්ට් එකේ රෙසිපි කිහිපයක් අත්හදා බලන්න කාලය වෙන් කරනු ලැබුවා. ලෝකයේ සංචාරය කරන්න සුදුසු රටවල් අතර ලංකාව ඉහළින්ම තියෙනවා. ඒ නිසා විදේශිකයන් ලංකාවේ සංචාරය කරන්න වගේම  ලංකාවේ සංචාරය කළාට පසු ලංකාවේ ආහාරවල රස යළි රසබලන්නත් ඔවුන් ප්‍රිය කරනවා.* 

ලංකාවෙන් ඇවිත් එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න බහුතරයකට ලංකාවේ කෑම උයන්න බැහැ

පුද්ගලයෙකුට අධ්‍යාපනය කියන දේ ඉතාමත්ම වැදගත්. නමුත් පොතේපතේ අධ්‍යාපනය වගේම තමන්ගේ රටට ආවේණික දේවල් ඉගෙන ගන්නත් අවශ්‍යයි. අපි ළමයෙකුට ඔවුන්ගේ රටට ආවේණික ආහාරපාන සකස් කරන දැනුම ලබා දෙන්නේ නැහැ කියන්නේ තමන්ගේ සංස්කෘතියෙන් යම්කිසි කොටසක් මග හරිනවා කියන එකයි. 
මම හොඳට ඉගෙන ගත්ත කෙනෙක් විදිහට මට කියන්න තියෙන්නේ මට මගේ අම්මා දායාද කරලා තියෙනවා මගේ රටේ ආහාර සංස්කෘතිය. ලංකාවෙන් ඇවිත් එංගලන්තයේ පදිංචි වෙලා ඉන්න බහුතරයකට ලංකාවේ කෑම උයන්න බැහැ. උයන්න පුළුවන් වුණත් සිංහල කෑම උයන්නේ නැහැ. නමුත් අපි හිතන්න ඕන අපි අපේ ළමයින්ට අපි අපේ සංස්කෘතියෙන් යමක් නොදී ඉන්න එක නේද මේ කරන්නේ කියන එක සම්බන්ධයෙන්. මම ලංකාවට ආවම දෙණියායේ මගේ නෑදෑ ගෙදරක ගියා. මම පොල් ගාන්නේ කරකවන හිරමණයකින් වුණත් එහිදී මම සාම්ප්‍රදායික විදිහට පොල් ගාන හිරමණයකින් පොල් ගාන අත්දැකීම විඳ ගත්තා. ඒ වගේම ලංකාවේ අම්මලා උයද්දී තමයි වත්තට ගිහින් කරපිංචා රම්පේ කඩාගෙන එන්නේ. ඇයි අපි මේ අත්දැකීම් අපේ ළමයින්ට දෙන්නේ නැත්තේ. අපිට මේ අත්දැකීම් විදේශයන්හිදී ලබන්න හැකියාවක් නැහැ. මම ලංකාවට ආවම දඹුල්ල ප්‍රදේශයේ සීගිරිය, කණ්ඩලම හෝටලය, නුවර, මිරිස්ස වගේ ප්‍රදේශවල ඇවිදින්න ආසයි.* යැයි පවසමින් ශාක්‍යා දැක්වූ අදහසට ඇයගේ මව මෙලෙස අදහස් එකතු කරනු ලැබුවාය.

&පොඩි කාලයේ මේ අත්දැකීම් ලබන්න අවස්ථාව ළමයින්ට ලබා නොදීමෙන් කවදා හරි විවාහ වෙලා උයන්න පිහන්න ගියාම ඔවුන්ට එම නිපුණතාව නැති නිසා ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඔවුන්ට පන්ති ගිහින් උයන්න ඉගෙන ගන්න වෙයි. නමුත් ළමයින්ට තමන්ගේ අම්මත් එක්ක ගැවසෙන්න පුළුවන් නම් ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. කඩේකට ගිහින් කෑම කනවාට වඩා ගෙදර උයාගෙන කන්න පුළුවන් නම් වඩාත් හොඳයි. අපි මීට අවුරුදු දහයකට කලින් ලංකාවට එද්දී ලංකාවේ හිටියේ කෙට්ටු හා ශක්ති සම්පන්න ළමයි හා වැඩිහිටියන්. නමුත් දැන් ඉන්නේ මහත ළමයි හා මහත වැඩිහිටියන්. ” 
මම කවදා හරි අම්මා කෙනෙක් වුණාම මගේ දරුවන්ට පොඩි කාලෙදීම උයන පිහින දැනුම දෙන්න කැමතියි

&අම්මා අපිට පොඩිකාලයේ කෑම හදන්න උගන්වන්න මහන්සි වුණේ නැහැ. නමුත් අපි අම්මා උයනවා බලන් හිටියා. හරි කාලයේදී අපි අම්මගේ දැනුම ලබා ගත්තා. අම්මා පිටි කොටන හැටි, මිරිස් කොටන හැටි අපි දැක්කා. මම කවදා හරි අම්මා කෙනෙක් වුණාම මගේ දරුවන්ට පොඩි කාලෙදීම උයනපිහින දැනුම දෙන්න කැමතියි. දැන් එංගලන්තයේ අධ්‍යාපන ක්‍රමයත් ඒ විදිහට හැඩ ගැහිලා තියෙනවා. පොඩිකාලේ ඉඳන්ම ළමයින්ට එළවළු අතපත ගාන්න අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් බැහැරව වෘත්තීය අධ්‍යාපනය ලබන්න අවස්ථාව උදාකර දී තිබෙනවා. 

කෙනෙක්ට උයන්න ආසාවක් තියෙනවා නම් ඒ පැත්තෙන් ඉගෙන ගෙන නිපුණත්වය ලබන්න හැකියාව තිබෙනවා. මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපනය තුළටත් මේවා ඇතුළත් වෙන්න ඕන. අපිට එංගලන්තයේදී ගෘහ අධ්‍යාපනය ප්‍රාථමික අධ්‍යාපනයේදී තිබුණා. අපි හරි ආසයි දවසේ අවසානයේ මේ කෑම රස බලන්නට.“ ශාක්‍යා ඇයගේ මව දැක්වූ අදහස් තමන්ගේ අත්දැකීම්වලට එක්වූ ආකාරයන් එලෙස අප සමග පවසා සිටියාය.
සිංහල කෑමවලට ඇති රුචිකත්වය නිසාම ශාක්‍යා හා ඇගේ මව ලංකාවේ සංචාරය කරන සෑම අවස්ථාවකම අලුත් අත්දැකීම් විඳගන්නට උත්සහ දරයි. එම අවස්ථාවලදී ලංකාවේ කෑමවලට අත්ව ඇති ඛේදනීය තත්ත්වයන් පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් දැක්වූයේ දුක් මුසුවය.

“අපි ලංකාවට නිවාඩුවට ආවම සිංහල කෑම රස බලන්න හරිම ආසයි. මේ නිසා ලංකාවට ආව ගමන්ම සිංහල කෑම කන්න පුළුවන් තැනකට යනවා. නමුත් කියන්න ඕන අපි මෑතකාලීනව අත්වින්ද දෙයක් තමයි කෑමවලට රස කාරක දාලා තිබෙනවා. ඒ වගේම දවසක් මම ඉඳි ආප්ප කෑව කිරි හොඳිත් එක්ක. කාල ඉවර වුණාම මගේ දත් වගේම නිය පොතු කහ පාට වෙලා තිබුණා. ඒකෙන් මම දැන ගත්තා ලංකාවේ කෑමවලට වර්ණ යොදන බව. ඒ වගේම ලුණු හා තෙල් ගොඩාක් කෑමවලට දානවා.”ශාක්‍යා ඇය මුහුණදුන් අත්දැකීම් එලෙස දක්වද්දී ඇයගේ මව දැක්වූයේ මෙවන් අදහසකි.

&ලංකාවේ සීනි සම්බෝල කෑවොත් එකේ නම සීනි සම්බෝල වීම නිසාම සීනි එකතු කරනවා. අපි කවදාවත් සීනි සම්බෝලවලට සීනි දාන්නේ නැහැ. ළුණුවල ස්වභාවිකවම පැණි රසක් අඩංගුයි. අපි ඒ රස පමණයි සීනි සම්බෝලයකදී මතු කරන්නේ. අපිට ආහාරයක රස හා වර්ණය පවත්වාගන්න ක්‍රම තිබෙනවා. අපිට හදිසි වෙන්නේ නැතිව එළවළු වර්ග පරිස්සමින් උයන්න පුළුවන් නම් එළවළුවල වර්ණය තබාගන්න පුළුවන්. ලංකාවේ කෑමවලට ස්වභාවික ගී වර්ග වෙනුවට පාම් තෙල්වලින් හා හරක් තෙල්වලින් සැකසූ ගී වර්ග යොදන බව අහන්න ලැබුණා. මේ තෙල් වර්ග වෙනුවට අපිට ලංකාවේ පොල් තෙල් යොදාගන්න පුළුවන් කෑම උයන්න. ඒ වගේම රස කරන්න කරදමුංගු , කරාබුනැටි,රම්පේ,කරපිංචා යොදා ගන්න පුළුවන්. එංගලන්තයේ දැන් පොල්වලට ඉහළ ප්‍රචාරයක් තිබෙනවා. පොල් සෞඛ්‍යයට හිතකර බව කියන නිසාම දැන් දත් මදින ටූත්පේස්ට්වල පවා පොල් තෙල් අඩංගු කර ඇති බව සඳහන් කරනවා. ඒ වගේම පොල් ගෙඩි පලතුරු වට්ටියටත් තියන්න පුරුදු වෙලා තියෙනවා. දැන් ඒ රටවල සුපර් ෆුඩ් එකක් බවට පොල් පත්වෙලා තියෙනවා. ”
සිංහල කෑම පිළිබඳව අවධානය යොමුකරද්දී සිංහල කැවිලි පෙවිලි පිළිබඳවද අවධානය යොමු වේ. ශාක්‍යා බ්‍රිතාන්‍යයේ ජීවත් වන තරුණියක් වුණත් ඇයට සිංහල කැවිලිපෙවිලි පවා සකස් කිරීමේ හැකියාවක් පවතී. මේ ඔවුන් බ්‍රිතාන්‍යයේදී සිංහල අවුරුද්ද සමරන ආකාරය පිළිබඳව දැක්වූ අදහසයි. 

සිංහල අලුත් අවුරුද්ද යෙදෙන දවසට ගෙදර ඇවිත් චාරිත්‍රවාරිත්‍ර කරන්න අපි පොඩි කාලයේ ඉඳන්ම හුරු වෙලා ඉන්නවා

අපි බ්‍රිතාන්‍යයේ ජීවත් වුණාට සිංහල අලුත් අවුරුද්ද ඉහළින්ම සමරනවා. අම්මා අපි පොඩි කාලේ ඉඳන්ම සිංහල අවුරුද්දට කැවිලි හැදුවා. අක්කයි මමයි අම්මට උදව් කළා. අවුරුද්දට සති දෙකක් විතර තියලා සති අන්තවලදී අම්මා අවුරුදු කැවිලි හදන්න පටන් ගන්නවා. අපිට සිංහල කැවිලි හදද්දී හැම කැවිල්ලකටම වෙන වෙනම අවධානයක් යොමු කරන්න සිදුවෙනවා. ලංකාවෙන් එංගලන්තයට පදිංචියට ගිය අවුරුද්දේ ඉඳන්ම අපි අවුරුදු සමරන එක ඉතා සාර්ථකව තාමත් සිදුකරගෙන යනවා. කැවුම්,කොකිස්, මුං කැවුම්, තල ගුලි, හැලප, කජු අලුවා, කිරිබත්, කට්ට සම්බෝල, සීනි සම්බෝල, මාළු කරියක් වගේ දේවල් අපි අනිවාර්යෙන්ම හදනවා. අපි ලංකාවෙන් සාම්ප්‍රදායික පොල්තෙල් පහනක් අරන් ගිහින් තියෙනවා. ඒක කෑම මේසයේ පත්තු කරනවා. මැටි මුට්ටියේ කිරි උතුරනවා. ඒ වගේම බුලත් දීලා අම්මට තාත්තට වඳිනවා. ගනුදෙනු කරනවා. ඒ වගේම අවුරුද්දට අපි පන්සල් යනවා. අපිට නැකැත් වෙලාවන් නැති වුණාට මේ චාරිත්‍ර ඔක්කොම කරනවා. ඒ වගේම අපි මොන රටක සංචාරයේ යෙදුනත් සිංහල අලුත් අවුරුද්ද යෙදෙන දවසට ගෙදර ඇවිත් චාරිත්‍ර වාරිත්‍ර කරන්න පොඩි කාලයේ ඉඳන්ම හුරු වෙලා ඉන්නවා.* කුඩා කාලයේ සිට සිංහල අලුත් අවුරුද්ද සමරන ආකාරය පිළිබඳ ශාක්‍යා මතකය අවධි කළේ එලෙසිනි.

තම දියණියන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විඳ ගැනීමට වැඩි අවස්ථාවක් උදාකර දුන් ශාක්‍යා ගේ මව වන ඩල්සි සිය මතකයන් වචනයට මෙලෙස හැරවූවාය.
ශාක්‍යාටත්, අක්කටත්, දැන් කැවුම් මිශ්‍රණය, කොකිස් මිශ්‍රණය වගේම කිරිබත් පවා හොඳින් හදන්න පුළුවන්

“අපි ගෙදර පිටි කොටලා පොඩ්ඩ පොඩ්ඩ ආස්මි ඇරෙන්න සියලුම කැවිලි හදනවා. පොඩිකාලේ අපි කැවුම්වලට කිව්වේ බ්‍රවුන් ස්ටෆ් කියලා. මුංකැවුම්වලට %ඩයමන්ඩ් පීසස්^ කිව්වා. අපි එක අවුරුද්දක පොල් ගෙඩි දෙකකින් කළු දොදොල් හැදුවා. පොල් අතින් මිරිකලා කිරි අරගෙන දොදොල් හදනකොට තෙල් පෑදුනත් පොල් කිරි බ්ලෙන්ඩර් කරලා අරගෙන දොදොල් හැදුවම තෙල් පෑදෙන්නේ නැහැ කියලා අපි ඒ වෙලාවේ අත්දැකීමෙන් දැන ගත්තා. අපේ රටේ කැවිලි එංගලන්තයේ කඩවල්වල ගන්න නැහැ. අපි කැවිලි හැදුවම යාළුවොන්ට ළඟ ගෙවල්වලට දෙනවා. ඔවුන් හරිම ආසාවෙන් ඒවා රස බලනවා. ලංකාවෙන් ගිහින් ඉන්න අය කැවිලි හදන්නේම නැති තරම්. අපි වැඩිපුර හැදුවම ඒ අයටත් දෙනවා. සමහරු වැඩිපුර හදලා දෙන්න පුළුවන්ද කියලා අපෙන් අහනවා. නමුත් අපි ගෙදර කෑම මේසයට කැවිලි හදන එක පමණයි කරන්නේ. ශාක්‍යාටත් අක්කටත් දැන් කැවුම් මිශ්‍රණය, කොකිස් මිශ්‍රණය වගේම කිරිබත් පවා හොඳින් හදන්න පුළුවන්. ලංකාවට අපි හැම අවුරුද්දකම එන්න උත්සහ කරනවා. ලංකාව තරම් ලස්සන තැනක් ලෝකේ වෙන කොහේවත් නැහැ. අපි රටවල් ගොඩකට සංචාරය කරලා තියෙනවා. ලංකාව තරම් ලස්සන රටක් නැහැ. ලංකාවේ සංචාරක කර්මාන්තය ඉතාම ඉහළ යනවා. අපේ රටේ තියෙන සංස්කෘතිය ඔවුන් වර්ණනා කරනවා. ඒ නිසා අපේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න හැමෝම උත්සහ ගත යුතුයි. 

ශ්‍රී ලාංකික ආහාරවල රස බ්‍රිතාන්‍යයන්ට රැගෙන යමින් ලාංකික ආහාර සංස්කෘතිය ලොවට රැගෙන ගිය ශාක්‍යා හා ඇගේ මව වන ඩල්සිටත් , ලාංකික කැවිලි පෙවිලිවල හා ආහාරවල රස නිරන්තරයෙන් මුළුතැන්ගෙයි සිට තම දරුවන්ට දායාද කරන සියලුම මවුවරුන්ටත් සුභ අලුත් අවුරුද්දක් වේවායි %අද^ ගැහැනිය පිටුවෙන් අප සුභපැතුම් මෙලෙස එක් කරන්නෙමු.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *