රස පහසට ලොල්ව මග වැරදුනු සමනලී

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

‘මහත්තයෝ මං පාදඩ බැල්ලියක් වාගේ ඒ කාලේ හැසිරුණේ… ඕනෑ බල්ලෙක් එක්ක දැවටෙනවා. දැන් පෙනෙනවද ප‍්‍රතිඵල…’

දර ඉපළක් සේ සිරුර දිරා ගොස් අස්ථි පඤ්ජරයම මතුවී, රැුළි වැටුණ සමෙන් වැසී ගිය, මායාකාරී රුවක් සතු ඒ මැදිවියේ කාන්තාව මහමග පදික වේදිකාවේ හිඳ මා වෙත අත පෑවාය. ඒ සමග තුවාලවලින් පිරුණු ඇගේ අපිරිසිදු දෙපා මට පෙනෙන්නට සැලැස්වූවාය.

ජාත්‍යන්තර කාන්තා දිනයට දුක් විඳින අසරණ ළඳුන් සොයා ඡායාරූප ගැනීමට ඇය අභියස සිටි මොහොතේ ඇගේ දුක මට ප‍්‍රකාශ කළාය. ඇගේ කතාව වෙනස්ම යැයි මට ඉවට දැනුණි. එය එසේම විය.

මහමඟට වැටුණු, වැටෙන බොහෝ කතුන් මෙන් ඇයටද කුඩා කලදීම යහමග වැරදී තිබිණි. ඒ ඇගේ දඩබ්බරකම නිසාමය. ඇය හිරිමල් යොවුන් වියේ ගිනි කිකිළියක් සේ සාර සොබාවට සිටින්නට ඇත. පිරිමි කාගේත් නෙත් ඇදී යන තරමේ සොබාවක් තමනට තිබුණේ ‘පිනට’ නොව සසරේ ‘පවකට’ යයි ඇයම කියා පෑවේ රුව නිසාම දුක් ගොඩකට ඇය පැටලී ඇති නිසාවෙන්මය.

‘මට හෙණ දාංගලේ ඒ කාලේ… ලොකු ළමයෙක් වූදා ඉඳලාම මට ඕනෑ වුණේ කොල්ලෙක් එක්ක පැටලෙන්න. එකෙක් නොවෙයි කොල්ලෝ දාසය දෙනෙක් එක්ක මං ලව් කෙරුවා. උන්ගෙන් චොකලට් කෑවා. ඔහොම යද්දී එකෙක් අපේ ගෙදර කවුරුත් නැති අල්ල පනල්ලේ මාව විනාශ කෙරුවා. හැබැයි ඒකටත් මගේ වැරැුද්දක් තියෙනවා.‘මේ කොල්ලා මේක උන්ගේ බාප්පා එක්ක යාළුකමට වගේ කියලා. එයා ගැරේජ්කාරයෙක්. අපේ අම්මයි තාත්තයි ගඩොල් කපන්න එහා ගමට ගිය හැන්දෑවක මං ගෙදර තනියෙන් සිටිද්දී ඒ ගරාජ්කාරයා ගෙදර ඇවිත් විස්තරේ කියලා මාව ඉල්ලූවා. මම බෑ කිව්වා. මිනිහා පිහියක් බෙල්ලට තියලා මාව බය කරලා දෙතුන් වරක් මා නැති කළා.

‘මිනිහා පහුවදාත් ආවා. කුකුළා වී පැදුරට එන්නා වගේ ආවා. මාව රිදෙව්වා. ඒත් මමත් මෝඩකමට ඊළඟ දවසේත් එයා එනතුරු බලා හිටියා.’

‘මේව්වා දැන් ඉන්න කෙල්ලන්ට පාඩම් මහත්තයෝ. කකුළුවා දිය රත්වෙන කොට තමයි දන්නේ මැරෙන්න යන විත්තිය.’ ඇය මොහොතක් හුස්ම හැර යළි කතාව පටන් ගත්තාය.

‘මම දවසක් අම්මා, තාත්තා එක්ක අවුරුද්දට ගවුමක් ගන්න ටවුමට ගිය වේලේ එයා බයික් එකක් අරන් අපි වටේ කැරකුණා. එයා අඬ ගැහුවා. මම අම්මයි, තාත්තයි දෙන්නවම දාලා එයාගේ බයික් එකට නැග්ගා. මම හෙණ පාපයක් එදා කර ගත්තේ. එයාලට දුන්නු ගින්දර තමයි අද මගේ ඇෙඟ් හිතේ පත්තු වෙන්නේ. මාව පිච්චෙනවා මහත්තයෝ.

‘එයා මාව දාගෙන හිස ඇරිච්ච අතේ පැදගෙන ආවා. අන්තිමට එයාවත් දන්නැති මාත් නොදන්න හැතැප්ම සිය ගාණක් ඈතට ගිහිල්ලා රෑ වෙනකොට ඒ පැත්තේ ගැරේජ්කාරයෙක් ළඟට ගිහිල්ලා මොනවදෝ කිව්වා. පස්සේ තමයි දන්නේ එයා කියලා තියෙන්නේ එයාගේ දුවත් එක්ක එන්නේ. අම්මා දාලා ගිහිල්ලා. හිතේ අමාරුවට හිස හැරුණු අතේ යනවා… රෑට ඉන්ඩ තැනක් දෙන්ඩ කියලා. අනේ ඒ මිනිහත් වහලා තිබ්බ පොඩි කාමරයක් දුන්නා.

‘එයා පහුවදා ඉඳලා අර ගැරේජ්කාරයට උදව්වට ගියා. හැබැයි එදා ඉඳලා හැම රැුයක්ම, ඒ හැම රැුයේම පැය ගණනාවක්ම මට මහ දුකක් වේදනාවක්ම තමයි. අවසානයේදී මට ඒ වේදනාවට ඌ එපා වුණා. මම පැනලා යන්න ගියත් කීප වතාවක් මාට්ටු වුණා. මම ඒ පැත්ත දන්නේ නැහැනේ.

‘මම හිතා ගත්ත එක ක‍්‍රමයක්. මම කිව්වා මට පාසල් යන්න ඕනි කියලා. මම උසස් පෙළ සමත්වෙලා කැම්පස් ගියොත් මේ යකාගෙන් බේරිලා ඉන්න පුළුවන් කියලා මට අවබෝධ වුණා. මාව පාසල් යැව්වා. දුවක් කියලා කවුරුත් දන්නේ… මම දවාලට දුව… රෑට ඒ යකාගේ බිරිඳ. ඔහොම ඉන්නකොට දෙසැරයක් ගබ්සා කළා. තුන්වෙනි සැරේ බඩට බබා ඇවිල්ලා මාස හයක් යනකන් මං පාසල් ගියා. බඩට තදට පටි දාලා බැඳගෙන ගවුම ඇඳලා ළමයින් එක්ක හිටියා. ඒ යකා මාව ආයෙත් ගබ්සා කෙරෙව්වා. ඒ සැරේ මම මැරෙන්නම ගියා. ඒවා ඔක්කොම කළේ පිටත රෝහල් වල. දැන් සුදනෝ වගේ ඉල්ලීම් ඉල්ලන දොස්තරලාම තමයි මේවා කළේ.

දවසක් පාසල් ඇරිලා එද්දී අපේ ගමේ එළවළු විකුණන අයෙක් මෙහේ පොළට ඇවිත් මං අඳුනාගෙන මට කතා කළා. මං එයාට කිව්වා අම්මට මාව ගලව ගන්න එන්න කියලා. ඒ කිව්වා වගෙම අම්මා ආවා. පාසල් ඇරිලා එද්දීම මම අම්මත් එක්ක බස් එකේ නගින්න හැදුවා ආපහු ගමට යන්න. මගේ කරුමේ මේ යකා කොහේදෝ ඉඳලා ඇවිත් අම්මයි මාවයි දැක්කා. මාව බලෙන් ගෙන යන්න හැදුවා. බැරි තැන මිනිහා ගියා. අපි පොලිසි ගියා. පැමිණිලි දාලා රාළහාමි කෙනෙක් එක්ක ගෙදර යද්දී මගේ පොත් ඇඳුම් ගිනි තියලා. මිනිහා අත්අඩංගුවට ගත්තා. අපි ගමට ගියා. මං ගිය දුකට තාත්තාත් නැති වෙලා.

මාස ගණනකට පස්සේ ආයෙත් මේ යකා ගමේ කරක් ගහනවා ඇප අරගෙන. මිනිහා මට සමාවෙන්න කියලා ඇවිත් කතා කළේ අම්මා නැති වෙලාවක් බලලා. මං ආයෙත් මෝඩියෙක් වුණා. මං ආයිත් ඌත් එක්ක පැනලා ගියා. දැන් හිටියේ වෙන තැනක. මිනිහා යාළුවොත් එක්ක බීලා අවසානයේදී යාළුවන්ට මාව දුන්නා. මම ජීවත් වෙන්නට සල්ලි ඉල්ලූවා. උන් 2000, 3000, 5000 දුන්නා. මම සල්ලිවලට ආස වුණා. ඇඟම විකිණුනා. ලෙඩ තියෙන උන් නිසා උපදංශ රෝගෙත් හැදුණා. අන්තිමට කට්ටියම මාව දාලා ගියා. මම ඉතින් පාරට බැස්සා. බල්ලයි, කොල්ලයි හැම එකා එක්කලාම මං හිටියේ බඩගින්න නිවා ගන්නටයි. අන්තිමට මට දාලා ගියේ රුපියල් දෙසිය පනහයි. පස්සේ කවුරුත් මං ළඟට ආවේ නැහැ. මං ගඳලූ. අරක්කුත් බීම මට පුරුදු කරලා තිබූ නිසා බීලා ඕනෑම අගු පිලක වැටිලා නිදියනවා. පොලිසියට, උසාවියට ගිය වාර අනන්තයි. අන්තිමට රෝහලේ… තරමක් හොඳ වෙන කොට පැනලා පාරට ඇවිත් අත පාන්ට පටන් ගත්තා. දැන් මහත්තයා සල්ලි දුන්නෙත් ඒ ‘දඩබ්බර පාහර බැල්ලිට තමයි…’ ඇය විසින් ඇයටම අලූත් ‘නාමයක්’ දමාගෙන තිබේ. තව ටික කලකින් ඇය මහ මඟම ඇද වැටී මිය යනු ඇත. කොහේ හෝ කනත්තක වැළලෙනු ඇත. සමස්තය, එක වාක්‍යයක් පමණි. නමුත් ‘කර්තෘ මිය ගොසින්, කර්මය’ (කරුමය) රජ වී ‘කි‍්‍රයාව’ ඉදිරියටත් සිදුවෙමින් පවතින්නේය.

ටෙරන්ස් වනිගසිංහ

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *