උත්තරයක් නැති වැරදිකාරයෙක් නැති සතියක් : තිරය පිටුපස දේශපාලනය

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

සිංහල අලූත් අවුරුද්දෙන් පසුව මුළු රටම ලේ විලක් බවට පත්කළ පාස්කු ඉරිදා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් පසුව මුළු රටේම දේශපාලන ක‍්‍රියාකාරිත්වය උඩු යටිකුරු වී ගියේය… ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේ අනෙකුත් දේශපාලන කල්ලි කණ්ඩායම්වලත් සියලූ දේශපාලන න්‍යාය පත‍්‍ර පුළුල් පරිවර්තනයකට ලක් කරන්නට ඒ අවාසනාවන්ත සිදුවීම් ජාලය සමත් වූයේ යැයි කිවහොත් නිවැරදිය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සිංහල අලූත් අවුරුද්දෙන් පසුව ඉන්දියාවටත් එතනින් පසුව සිංගප්පූරුවට පිටත්ව

ගොස් තිබුණේ පුද්ගලික සංචාරයක් ලෙස මද විවේකයක් ගන්නට බව හෙළිදරව් වී තිබිණි. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ද අවුරුද්දෙන් පසුව විවේකයෙන් කාලය ගත කරන්නට අගනුවරින් බැහැරව ගොස් නුවරඑළිය ප‍්‍රදේශයේ විවේක

ගනිමින් සිටියේය. කථානායක කරු ජයසූරිය මහතා ද සිටියේ කොළඹින් බැහැරවය. ආණ්ඩුව පක්ෂයේත් විපක්ෂයේත් මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු කොළඹින් බැහැරව ගම් පළාත්වලට ගොස් සිටි අතර සැලකිය යුතු පිරිසක් විදේශගතව යම් යම් සංචාරයන්හි නිරතව සිටින බව ද හෙළිදරව් විය.

සියල්ල මෙසේ පවතිමින් රට නිසොල්මනේ ඉදිරියට ගමන් කරන අතරේ සංවිධානාත්මකව තවත් බොහෝ දේ වෙමින් පැවතිණි. රට තුළ සංවිධානාත්මකව හා රහසිගතව අප නොදන්නා බොහෝ දේ සිදුවෙමින් පැවති බව හෙළිදරව් වූයේ පසුගිය 21 වැනිදා පාස්කු ඉරිදාවේ ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ කතෝලික දේවස්ථාන හා අගනුවර ප‍්‍රමුඛ පෙළේ හෝටල් කිහිපයක් ඉලක්ක කරගෙන සිද්ධ වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයන් කිහිපයකට පසුව ය.

අවුරුදු නිවාඩුවට නුවරඑළිය බලාගොස් තිබූ අගමැතිවරයා යළි කොළඹ පැමිණීමට නියමිතව තිබුණේ 21 ඉරිදා ය. එහෙත් ආණ්ඩුව පෙරළීමේ හා අගමැති මාරු කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත්ව තිබෙන බවට රට තුළ පැතිර ගිය ආරංචි කිහිපයක් කණ වැකීමත් සමඟින්ම අගමැතිවරයා ඊට දින 4 කට පෙර කොළඹ පැමිණ සුපුරුදු රාජකාරි ආරම්භ කළේය.

එහෙත් අගමැති රනිල් වික‍්‍රමසිංහට එම කටයුතු කරගෙන යෑම සඳහා අවශ්‍ය නිලධාරීන් තවමත් සිටියේ අවුරුදු නිවාඩු භුක්ති විඳිමිනි. මේ නිසා අගමැති රනිල්ට ද සිදුවූයේ නැවතත් කොළඹින් බැහැරව සිට සිය වැඩ කටයුතු අධීක්ෂණය කරන්නට ය. ඒ සඳහා ඔහු බෙන්තොට ප‍්‍රදේශයේ සුපුරුදු නවාතැනක් තෝරාගනු ලැබුවේ ය.

ජනපති සිංගප්පූරුවේ රනිල් නුවරඑළියේ….

රටම මහත් කැළඹිල්ලට බඳුන් කරමින් කොළඹ පුපුරා ගිය බෝම්බ සිදුවීම් ගැන සැල වූ වහාම එතෙක් විවේකීව සිටි අගමැති රනිල්ගේ නිවාඩු කාලය අවසන් විය. ඔහු වහාම අරලියගහ මන්දිරය බලා පිටත්ව ආවේ වගකිවයුතු ඇමැතිවරුන් කණ්ඩායමකට ද තමන් හමුවන්නට අරලියගහ මන්දිරයට වහාම පැමිණෙන්නැයි යන පණිවිඩය ලබා දෙමිනි.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ඒ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් දින 8ක් ගතවී තිබිණි. අගමැති රනිල්ට අවශ්‍ය වූයේ මේ අහඹු සිදු වීමෙන් පසුව තමුන් කුමක් කරන්නේ ද යන කාරණාව සම්බන්ධයෙන් ඉක්මන් තීන්දුවකට එළඹීමට ය. ඒ සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමග සාකච්ඡුා කළත් කළ යුතු ඉදිරි වැඩසටහන් කටයුතු ගැන තීන්දුවක්

ගන්නට නොහැකි විය. අගමැතිවරයා අරලියගහ මන්දිරයට ඇමැතිවරුන් කැඳවා හදිසි කැබිනට් මණ්ඩල රැස්වීමක් පවත්වන්නට තීරණය කළේ ඒ අනුවය.

මේ ප‍්‍රහාරය ගැන බුද්ධි අංශ සංඛ්‍යා තොරතුරු වාර්තා කරලා තිබුණා කියලා කතාවක් ප‍්‍රචාරය වෙනවා. සමාජ මාධ්‍ය වල බුද්ධි අංශ විසින් මේ අනතුරු ගැන කල්තියා දැනුම් දුන්නා යි කියන ලිපිය පවා දැන් ඔන්න හුවමාරු වෙන්න පටන් ගත්තා…

ඇමැතිවරු ඒ ගැන අගමැති රනිල් වෙත තොරතුරු වාර්තා කරන්නට පටන් ගත්තේය.

එහෙම තොරතුරක් වාර්තා වෙලා තියෙනවා නම් මටත් දැනගන්න ලැබෙනවනේ… මමනෙ මේ රටේ අගමැති… මට නම් එහෙම දෙයක් මේ පොලිස්පතිවරයාවත් ආරක්ෂක අංශවල කවුරුවත් දැනුම් දීලා නෑ… හැබැයි ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිතුමාට මේ ගැන කවුරුහරි බුද්ධි අංශයක් දැනුම් දීලා තියෙනවද කියල අපි දන්නේ නැහැ…. අගමැතිවරයා කීවේය.

එහිදී සාධක සහිතව හෙළි වූයේ අපේ‍්‍රල් මාසය ඇරඹීමත් සමග කිහිපවිටක් ඉන්දියානු බුද්ධි අංශ මෙන්ම ලංකාවෙ බුද්ධි අංශද මෙවැනි ප‍්‍රහාරයක් එල්ලවිය හැකි බවට තොරතුරු වාර්තාකොට තිබූ බවය. එම බුද්ධි අංශ තොරතුරු අනුව අනුව ආරක්ෂක හා නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයාව සිටි ජනපති ඇතුළු වගකිව යුත්තන් ප‍්‍රහාරය වළකා ගැනීමට ක‍්‍රියා නොකිරීම පිළිබඳ ඇමැතිවරු රැසක් චෝදනා නගන්නට විය. එහෙත් ජනපති රැකීමට ඇමැතිවරු දෙතුන්දෙනෙක් උත්සාහ කිරීමත් සමග දැඩි මතගැටුමක් එහිදී ඇති විය. අගමැතිවරයා එය සමනය කළේය.

‘ජනාධිපතිට නෙවෙයි… මේ ගැන බුද්ධි අංශ අපිට කියල තිබුණ නම් අනිවාර්යයෙන්ම අපි ක‍්‍රියාත්මක වෙලා මේ සිද්ධිය වළක්වන්න පියවර ගන්නවා …අගමැති කීවේය.

‘මේ ගැන තොරතුරු දන්වලා තියෙද්දි ක‍්‍රියාත්මක වුණේ නැත්තෙ ඇයි කියලා අපි ජනාධිපති ආවම එයාගෙන් ප‍්‍රශ්න කරමු…

ඉන්පසුව ජනාධිපතිවරයා ගෙන් මේ ගැන ප‍්‍රශ්න කරන්නට පුද්ගලයන් කීපදෙනෙකු නම් කරනු ලැබුවේ ය. ඊට කබීර්, සජිත්, මංගල, මනෝ, රවී ඇතුළු ඇමැතිවරු පිරිසක් පත් කෙරිණ.

හැබැයි මේ ගොල්ලන් ජනාධිපතිගෙන් මේ ගැන බය නැතුව ප‍්‍රශ්න අහන්න ඕන… බණියි කියලා බය වෙලා නම් මේක කරන්න බෑ… කවුද මුලින්ම මේ ගැන ප‍්‍රශ්න කරන්න පටන් ගන්නේ…

ජනපතිට බෙල්ල දෙන්න කිරිඇල්ල බාර අරන්ලූ…

කිරිඇල්ල එසේ අසද්දී ඇමැතිවරු මුහුණෙන් මූණ බලාගත්තා මිස උත්තරයක් දුන්නේ නැත. ‘හරි එහෙනම් මම පළමු ප‍්‍රශ්නය අහන්නම්කො… ගියපාර ජනාධිපතිතුමා ඉස්සරහට ආණ්ඩුව වෙනුවෙන් මේ වගේ මුලින්ම කතා කරලා එතුමා මගේ බලතල ටිකක් කපලා දැම්මා… සමහරු හොරෙන් හොරෙන් ගිහිල්ලා ජනාධිපතිතුමා හමුවෙලා මගෙ කපාපු බලතල තමන්ට ඉල්ලගත්තා… කිරිඇල්ල එසේ උපහාසාත්මකව කියද්දී බොහෝ දෙනෙකු ඊට ප‍්‍රතිචාර දක්වන්නට වත් ගියේ නැත.

රටේ ඇති වූ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් අමාත්‍යවරුන් කතාබහ කර ඉක්මන් තීන්දු තීරණ කිහිපයක් ගනු ලැබූහ. අමාත්‍යවරුන්ට මේ හදිසි සිදුවීම් සම්බන්ධයෙන් නොයෙකුත් අදහස් තිබුණි. රටේ ආරක්ෂක විධිවිධාන තර කිරීම, සෞඛ්‍ය සේවය විධිමත් කිරීම, සන්නිවේදන ජාලය විධිමත් පාලනයකට නතු කිරීම, අනවශ්‍ය පරිදි නිසි හා අනිසි තොරතුරු සංසරණය කරවන සමාජ මාධ්‍ය පාලනය කිරීම, ජාත්‍යන්තර සම්බන්ධතා කළමනාකරණය හා ජනමතය පාලනය කිරීම ආදි විෂයන් සම්බන්ධයෙන් ගතයුතු වැදගත් තීන්දු තීරණ රැසක් අමාත්‍ය මණ්ඩලයේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ විසින් කඩිනමින් ගනු ලැබුවේ ඒ සඳහා පළපුරුදු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන්ගේ ද විශේෂඥ දැනුමක් ඇති නිලධාරීන් ගේ ද උදව් උපකාර ඇතිව ය. කාගේත් අදහස වූයේ ජනාධිපතිවරයා ලංකාවට එන තුරු බලා නොසිට ආරක්ෂක මණ්ඩලය රැස්කර ඉක්මනින් ගතයුතු ආරක්ෂක ක‍්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡුා කර තීරණයකට එළඹිය යුතු බවය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ඉක්මන් ආරක්ෂක මණ්ඩල රැස්වීමක් කැඳවන්නට තීර්ණය කර අදාළ බලධාරීන් වෙත දැනුම් දෙනු ලැබුවේ ඉන් පසුවය… එහෙත් අගමැතිවරයාගේ එම කැඳවීමට සතුටුදායක ප‍්‍රතිඵලයක් ලබා දෙන්නට ආරක්ෂක මණ්ඩල සාමාජිකයන් කටයුතු කර තිබුණේ නැත… ඔවුන් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ගෙන් උපදෙස් ගත යුතු ක‍්‍රමවේදයක් තිබිණි. මේ සඳහා කාලය ගත කිරීමට අවශ්‍ය බැවින් හමුදා ප‍්‍රධානීන් හා ආරක්ෂක ලේකම්වරයා අගමැතිවරයාට දන්වා සිටියේ වෙනත් කාරණාවකි.

හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීන් හා ආරක්ෂක ලේකම්වරයාගේ අදහස වූයේ එය රැස්විය යුත්තේ අරලියගහ මැඳුරේ නොව, ආරක්ෂක අමාත්‍යාංශයේ බවය.

රැස්වීම තියන්න ඕන අමාත්‍යාංශයේ කියලා නියමයක් තියෙනවා නම් මම කල් යවන්නේ නැතුව එතෙන්ට එන්නම්…. මේක හදිසි තත්ත්වයක්. මේ වෙලාවෙ අපි එකතු වෙලා කතා බහ කරල තීන්දු තීරණ අරගෙන එක මතයක ඉඳගෙන වැඩ කරන්නයි ඕන. මම එහෙනම් අමාත්‍යාංශයට එනවා…

එසේ කියමින් විනාඩි කිහිපයක් ඇතුළත දී අගමැති රනිල් ආරක්ෂක අමාත්‍යාංශය බලා පිටත්ව ගියේය… එහෙත් හමුදාපතිවරුන්ගේ හෝ ආරක්ෂක ලේකම්වරයාගේ හෝ වෙනත් නිලධාරියෙකුගේ සූදානමක් ආරක්ෂක මණ්ඩල රැස්වීම් සම්බන්ධයෙන් නොවූ බව අගමැතිවරයාට පැහැදිලි විය.

ආරක්ෂක මණ්ඩල ගැන
රනිල් මතකය අවුස්සයි…

අඩුම තරමින් එම රැස්වීම් සඳහා ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් හෝ හමුදාපතිවරු පැමිණීමෙන් වත් දායකත්වයක් දක්වා නොතිබූ නිසා අගමැති රනිල්ට සිදු වූයේ ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජේවර්ධනගේ කාමරයට වී විනාඩි 20 පමණ කාලයක් හමුදාපතිවරු එනතුරු රැඳී බලා සිටින්නට ය.

ආරක්ෂක ලේකම් හා ජනපතිගේ දේශපාලන හිතවතුන් කිසියම් කල්මැරීමක් සිදු කළ බවක් පෙනෙන්නට තිබුණි. අවසානයේ ලේකම්වරයාගේ යම් නම්‍යශීලීත්වය තුළ ආරක්ෂක කවුන්සිලයට අනිවාර්යයෙන් පැමිණිය යුතු ප‍්‍රධානීන්ගේ අඩුලූහුඩුතාවයන් මත හෝ රැස්වීම ඇරඹිණ. එහිදී විශේෂ තීන්දු රැසක් ගැනින.

ආරක්ෂක මණ්ඩල රැස්වීමෙන් පසුව අගමැති රනිල් වික‍්‍රමසිංහ යළි පැමිණියේ තරමක කලකිරීමකින් යුතුවය… සාමාන්‍යයෙන් ආරක්ෂක ඇමැතිවරු විදේශගත වන අවස්ථාවකදී වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයකු පත් කර යෑම පෙර සිට පැවත එන සම්ප‍්‍රදායකි. බොහෝ වේලාවට එහි බලතල හිමි වන්නේ අගමැතිවරයාටය. එහෙත් ආරක්ෂක ඇමැති ධුරය දරන ජනාධිපතිවරයා කිසිම විටක තමන් විදේශ ගත වද්දී ආරක්ෂක ඇමැති ධුරයේ වගකීම් කිසිවකුට පවරා ගියේ නැත. එසේ නොකරන්නට ඔහුට ද සාධාරණ හේතු රැසක් තිබූ බව රහසක් නොවේ. ආරක්ෂක ඇමැතිවරයා ලෙස සිටින ජනාධිපතිවරයාගේ බලතල පවා ඉක්මවමින් අගමැතිවරයා ප‍්‍රමුඛ කැබිනට් මණ්ඩලය යම් යම් අවස්ථාවල දී ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ පැහැදීමක් තිබුණේම නැත. මේ නිසා වැරදීමකින්වත් ආරක්ෂක ඇමැති ධුරයේ වගකීම ඔහු කිසිවකුටත් ලබා දෙන්න කල්පනා කළේ නැත.

එහෙත් එහි අවාසිදායක පැත්තක් ද තිබුණි. අවාසිදායක පැත්ත ඉස්මතු වූයේ මෙවන් හදිසි අනතුරු ආපදා අවස්ථාවල තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙනි. ආරක්ෂක අමාත්‍යාංශයේ දී මුහුණ දෙන්නට සිදු වූ අත්දැකීම් ගැන කලකිරුණු රනිල් ඒ සම්බන්ධයෙන් තම අදහස් පළ කළේ පැරණි මතකය ද හාරා අවුස්සමින් මෙසේ කරුණු දක්වමිනි.

”ජනපති පේ‍්‍රමදාස ඝාතනය වුණාම 1993 දී මම අගමැති හැටියට කවුන්සිලය කැඳවා රටේ ආරක්ෂාව සහතික කළා. ජේ.ආර්. ගෙ කාලෙ එතුමා ලංකාවෙ නෙවෙයි කොළඹින් පිට හිටියත් ගාමිණි ලලිත්ල වගේ අයට මේ කවුන්සිලය කැඳවලා තීන්දු ගන්න ක‍්‍රමවේදයක් ඇති කළා. 2001 ඉඳල වසර 3ක් ජනාධිපතිනි චන්ද්‍රිකා නැති වෙලාවට අගමැති ලෙස මමයි සිකිරිටි කවුන්සිලය කැඳෙව්වේ. 2004 සුනාමි ආපු වෙලාවෙ චන්ද්‍රිකා රට හිටියත් අගමැති මහින්ද ආරක්ෂක මණ්ඩලය කැඳවලා රටේ ආරක්ෂාව තහවුරු කළා. ඒත් දැන් මේ මොකක්ද වෙන්නේ…?” අගමැතිවරයා කීවේ නළල රැලිගන්වා හැඟීම්බරවය.

”සුනාමි වෙලාවෙ ජනාධිපති චන්ද්‍රිකා හිටියේ එංගලන්තයේ. ඇය පළමු ෆ්ලයිට් එකෙන්ම ලංකාවට ආවා. ඒත් මේ පාර එහෙම වුණේ නෑ. සිංගප්පූරුවේ ඉඳලා ආපු අන්තිම ප්ලේන් එකෙයි ජනාධිපති ඇවිත් තියෙන්නේ. මේ වගේ වෙලාවක බැංකොක් නැත්නම් ක්වාලාලම්පූර් වගේ තැනකට ගියා නම් කලින්ම එන්න තිබුණා. එතුමා ලංකාවට ආවෙත් නෑ. ආරක්ෂක කවුන්සිලයට අදාළ නිලධාරීන්ට යන්නෙපා කියල බලපෑම් කරපු බවත් ඒ නිලධාරීන් පිළිගත්තා” එජාප නීති නිලධාරියෙක් කීවේය.

ආරක්ෂක උපදෙස් නොතකා
මහින්ද පාරට බැහැලා..

එදා ඉරිදා උදේ මේ අවාසනාවන්ත සිදුවීම් සියල්ල කොළඹ සිදුවෙද්දී හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සිටියේ විජේරාම මාවතේ නිවසේ විවේකීව සිය හිතමිතුරන් කිහිපදෙනෙකු හා අල්ලාප සල්ලාපයේ යෙදෙමින්. ඒ මොහොතේ ඩලස් අලහප්පෙරුම හා ජොන්ස්ටන් ප‍්‍රනාන්දු පැමිණ මේ අවුරුද්දේ වැඩ කටයුතු ගැන විපක්ෂ නායකවරයා සමග සුහදව සාකච්ඡුා කරමින් සිටියහ. කොච්චිකඬේ පල්ලියේ බෝම්බ පිපිරීම් පිළිබඳ අවාසනාවන්ත පුවත විපක්ෂ නායකවරයාගේ කන වැකුණේ එම අවස්ථාවේදීය…. කොටහේන කොච්චිකඬේ පල්ලියේ සිදුවීමත් කටාන පල්ලියේ සිදුවීමත් ඉන්පසුව කොළඹ මහා හෝටල් තුනක බෝම්බ පිපිරීමත් ඊට ආසන්න වේලාවක මඩකලපුවේ කතෝලික පල්ලියේ සිදුවීමත් කණ වැකීමෙන් හිටපු ජනාධිපතිවරයා මේ පැමිණ ඇති ව්‍යසනයේ තරාතිරම හොඳ හැටි අවබෝධ කරගත්තේය. ඔහු ඒ මොහොතේම ගෝඨාභය රාජපක්ෂටත් බැසිල් රාජපක්ෂටත් දුරකථනයෙන් කතාකර විපත පිළිබඳ ඉක්මන් සාකච්ඡුාවක නිරත වුණේය.

ඉන්පසුව ප‍්‍රහාරය සිදු වූ තැන්වලට යන්නට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂට අවශ්‍ය වුවත් ඔහුගේ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ගෙන් ඒ සඳහා අනුකූලතාවක් ලැබුණේම නැත….

”සර් යන්න එපා මේ වෙලාවේ අවදානම වැඩියි” ආරක්ෂක නිලධාරීහු කියා සිටියහ.

”එහෙම කොහොමද? මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ මම යන්නම ඕනේ. ආරක්ෂාව මදි නම් ඒක ගැන බලා ගන්න එක ඔයාලගේ වැඩක්. මම යනවා” මහින්ද දැඩිව පැවසීය.

අනතුරුව ආරක්ෂක නිලධාරීන්ට සිදුවූයේ මහින්දගේ ඉල්ලීමට අවනත වන්නටය. මහින්ද කොච්චිකඬේ දේවස්ථානයට යෑමට සැරසෙන අතර ප‍්‍රසන්නගෙන් ඇමතුමක් ලැබුණේය.

”මම කොච්චිකඬේට යන්නයි හදන්නේ ප‍්‍රසන්න. බලන්න මේ අපේ සිකුරිටි එකෙන් මට යන්න දෙන්නේ නැහැනේ. හැබැයි මම කොහොම හරි යනවා” මහින්ද පැවසීය.

ඒ අනුව වහාම සූදානම් වූ ප‍්‍රසන්න ද විජේරාම පෙදෙසට ආවේ මහින්ද සමඟ සිද්ධිය වූ තැනට යෑමේ අදහස ඇතිවය. ජොන්ස්ටන් සහ ඩලස් ද මහින්ද සමඟ ගමනට එකතු වූහ. පිරිස ප‍්‍රථමයෙන් ගියේ කොච්චිකඬේ දේවස්ථානය වෙතය.

ආරක්ෂක විධිවිධාන තර කරමින් ආරක්ෂක අංශ ප‍්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව කොටහේනේ කොච්චිකඬේ පල්ලියේ තුවාලකරුවන් රෝහල් යවමින් කලබල වී සිටින අතරතුර ප‍්‍රභූවරයකුගේ වාහන පෙළක් ඒ ආසන්නයටම පැමිණ නතර කිරීම මවිතය දනවන සුළු කරුණුක් විය.. සමහර ප‍්‍රදේශවාසීන් ඒ අතර කලබලයට පත්ව උණුසුම් වචන හුවමාරු කරන්නට පටන් ගත්තේ පැමිණ සිටින්නේ ආණ්ඩුවේ කවරෙකු හෝ වගකිවයුත්තකු යැයි වරදවා වටහාගෙනය. එහෙත් ඒ පැමිණ සිටින්නේ මහින්ද රාජපක්ෂ බව දුටු සැනින් ඔවුන් පැමිණ මහින්ද වටකරගෙන වී ඇති විපත ගැන දුක කියන්නට පටන් ගත්හ….

”බලන්න සර්, ඔබතුමා බේරලා දීපු රට අවුරුදු හතරක් යන්න ඉස්සර විනාශ කළා. අපි බයක් සැකක් නැතුව පාරේ බැහැලා ගියේ ඔබතුමාට පින්සිද්ධ වෙන්න. දැන් ආයෙත් බෝම්බ පුපුරන්න අරගෙන. මොකක් හරි කරන්න සර්” කියමින් ජනතාව මහින්ද වටකර ගත්හ.

”ඔයාලා කලබල නොවී ඉන්නකෝ” කියමින් පිරිස අස්වැසූ මහින්ද දේවස්ථානය නිරීක්ෂණයට ගියේය. සිදුව ඇති විනාශය දුටු මහින්ද වඩාත් සංවේදීව සිටියේය.

”බලන්න වෙලා තියෙන විනාශය. අපි දහදුක් විඳලයි මේ මිනිස්සු කොටි ත‍්‍රස්තවාදයෙන් බේරා ගත්තේ. ආණ්ඩුව අවුරුදු හතරක් යනකොට රට වළටම ඇදලා දැම්මා. හෙට ඉඳන් දෙපැත්ත බෙදිලා රණ්ඩු වෙවී ඉඳියි” මහින්ද පිරිසට කීවේ මහත් ශෝකයෙනි.

මේ අතර මහින්ද ප‍්‍රසන්නට හා ඩලස්ට තවත් වගකීමක් පැවරුවේය. අපේ පාර්ලිමේන්තු, පළාත් සභා, පළාත් පාලන මන්ත‍්‍රීවරුන්ට වහාම කථා කරන්න. කථා කරලා කියන්න තම තමන්ගේ ප‍්‍රදේශවල පල්ලිවලට ගිහින් ඒවාගේ ෆාදර්ස්ලා එක්ක කථා කරලා ඒවා ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්න කියලා දැන්ම මහින්ද කීවේය.

අනෙකුත් පල්ලි රකින්න
ප‍්‍රසන්නට ඩලස්ට වගකීම්…

ඒ අනුව ක‍්‍රියාත්මක වූ ප‍්‍රසන්න හා ඩලස් දිවයින පුරා සිටින පොහොට්ටුවේ මන්ත‍්‍රීවරුන්ට කථා කරන්නට පටන් ගත්හ. ඩලස්ගෙන් හා මහින්දගෙන් ලැබුණු පණිවිඩය අනුව ක‍්‍රියාත්මක වූ පොහොට්ටු මන්ත‍්‍රීවරු තම තමන්ගේ කොට්ඨාසවල දේවස්ථානවලට ගොස් ආරක්ෂක වැඩ පිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබුණි.

කොච්චිකඩෙන් පිටත්ව මහින්ද ඇතුළු පිරිස ඊළඟට මීගමුව කටුවපිටිය බලා පිටත්ව ගියෝය. ඒ යන අතරතුර ප‍්‍රසන්නට දුරකථන ඇමතුමක් ආවේ ප‍්‍රසන්න රණවීර ගෙනි. මහින්දත් කැටුව කටුවපිටිය බලා එන බව ප‍්‍රසන්න පැවසීය. ”සර්ට එන්න එපා කියන්න. මෙතැන ආරක්ෂාවක් නැහැ. මීගමුව රෝහලට යන්න කියන්න” රණවීර පැවසීය. ප‍්‍රසන්න එම පණිවිඩය මහින්දට දුන්නත් මහින්ද කීවේ කටුවපිටිය දේවස්ථානයට යා යුතුම බවය.

ඒ අනුව දේවස්ථානයට ගිය මහින්ද පසුව මීගමුව රෝහල බලා ආවේය. ඒ වන විට තුවාල ලැබූ අය මෙන්ම ඔවුන්ගේ ඥාතීන් මීගමුව රෝහලේ පිරී සිටි අතර මහින්ද දුටු බොහෝ දෙනා හඬමින් දුක කියන්නට ගත්හ. ඔවුන් අස්වැසූ මහින්ද කොළඹ බලා ආවේ ඉමහත් ශෝකයෙනි. ඒ අතරතුර ආරක්ෂක අංශ අමතමින් අවශ්‍ය උපදෙස් දීමටත් මහින්ද අමතක කළේ නැත. මහින්ද විජේරාමයට එන විටත් මන්ත‍්‍රීවරු ඇතුළු බොහෝ පිරිසක් විජේරාම නිවසට පැමිණ තිබිණි. මහින්ද ඔවුන් සමග කථා කළේ ඉමහත් සංවේගයෙනි.

”ත‍්‍රස්තවාදය නැත්තටම නැති කරලා ලබන මාසෙට අවුරුදු දහයක් පිරෙනවා. අවුරුදු තිහක් යුද්ධයෙන් බැට කාපු ජනතාවට අවුරුදු දහයක් බියෙන් සැකෙන් ඉන්න බැරි වුණා. ජාතික ආරක්ෂාව ගැන අපි 2015 ඉඳන් ආණ්ඩුවට පෙන්වා දුන්නා. ආණ්ඩුව ඒවා තඹයකට මායිම් කළේ නැහැ. අන්තිමට වන්දි ගෙවන්න වුණේ අහිංසක ජනතාවට” මහින්ද පැවසීය.

”ඒකනේ සර් බලන්නකො වෙච්ච අපරාධය. අපි දිනා දීපු නිදහස රැකගන්න බැරි මිනිස්සු අන්තවාදයක් එක්ක සටන් කරන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බැහැ. මේ ආණ්ඩුවට තිබ්බේ රාජපක්ෂ භීතිකාව විතරයි. රාජපක්ෂලා අතුගාලා දාන එක ගැන තමයි එයාලා දිවා ? කල්පනා කළේ” ඩලස් කීවේය.

”අපේ මිනිස්සුන්ටත් යුද්ධය අමතක වුණා. එදා විඳපු දුක අවුරුදු දහයක් යන කොට ජනතාවටත් අමතක වුණා. රණවිරුවෝ දංගෙඩියට දක්කන කොට අහක බලන් හිටියා. ඒවායේ ප‍්‍රතිවිපාක තමයි දැන් විඳින්න වෙලා තියෙන්නේ” ප‍්‍රසන්න පැවසීය.

මේ අතර ප‍්‍රසන්නට ගෝඨාභය ගෙන් දුරකථන ඇමතුමක් ලැබුණේය. සිදුව ඇති දේ විස්තර කළ ප‍්‍රසන්න ගෝඨාභයට කීවේ ආරක්ෂක තත්ත්වය එතරම් යහපත් නොවන බැවින් සිද්ධිය වූ ස්ථානවලට යෑමෙන් වැළකී සිටීම හොඳ බවය.

සිද්ධිය වන අවස්ථාවේ නිමල් ලන්සා සිටියේ ඇමරිකාවේ නිව්යොර්ක්වලය. ඔහු වහා දුරකථන ඇමතුමක් ගෙන ප‍්‍රසන්නගෙන් විස්තර ඇසුවේය. අනතුරුව වහා සිය සංචාරය අවලංගු කළ ලන්සා දිවයිනට පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ගත්තේය.

සෞඛ්‍ය සේවා සොයා බලන්න
රාජිත කරු මැදිහත් වෙලා…

බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව ආරංචිය ලැබුණ සැනින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මුලින්ම කළේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට සහ සෞඛ්‍ය බලධාරීන්ට කතා කිරීමය. විශේෂයෙන්ම කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත ඇමතුමක් දුන් ඇමැතිවරයා විශාල වශයෙන් එක පාර ඇතුළත් වන තුවාලකරුවන්ට ප‍්‍රතිකාර කිරීම් පිළිබඳ රෝහලේ ඇති හැකියාව හා පහසුකම් විමසා බැලූවේය. ඊළඟට අමාත්‍යවරයා අවධානය යොමු කළේ ගිලන්රථ සේවාවන්ට හා මේ සැපයුම් සේවාවන්ට කතා කිරීමටය. ඒ සියල්ල නිසි පරිදි සිදු වන අතර අරලියගහ මන්දිරයට ද කතා කරමින් අගමැතිවරයා සමග සම්බන්ධ වී මතුවී ඇති තත්ත්වය පිළිබඳ සාකච්ඡුා කිරීමද විශේෂත්වයකි.

අනතුරුව කොළඹින් බැහැර ප‍්‍රදේශවල සෞඛ්‍ය තත්ත්වය විමසා බලන්නට ද අමාත්‍යවරයා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය යොමු කළේය. ඒත් සමගම රාගම, මීගමුව, කලූබෝවිල හා මඩකලපුව රෝහල්වලට ද අමාත්‍යවරයා කතා කර හදිසි තත්ත්වයන් විමසා බැලූවේය…

එම අවස්ථාවේ දී විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා රෝහලට පැමිණියේ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ හෝ මියගිය විදේශීය ජාතිකයින් පිළිබඳ තොරතුරු ලබාගැනීමටය. ඒ සඳහා රෝහල් බලධාරීන් යොමුකළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔහුට අවශ්‍ය පහසුකම් සලසා දුන්නේය…

ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල වන විට කථානායකවරයා සිටියේ කොළඹින් බැහැරවය. මහනුවර සිට වහාම කොළඹ බලා ඒමට පිටත් වූ ඔහුට අතරමගදී දිගින් දිගටම සිදු වූ ප‍්‍රහාර පිළිබඳව තොරතුරු ගලා එන්නට වූ අතර, තත්ත්වය අතිශයින් බරපතල බව අවබෝධ කරගත් හෙතෙම වහාම සිය මාධ්‍ය ලේකම්වරයා අමතා දැනුම් දුන්නේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ සහෝදරත්වයෙන් සහ අවබෝධයෙන් යුතුව කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලෙසයි.

අනතුරුව අගමැතිවරයා සහ ආරක්ෂක ප‍්‍රධානීන් අමතමින් අඛණ්ඩව පවතින තත්ත්වය පිළිබඳව සොයා බැලූ හෙතෙම වහාම පිපිරීම සිදු වූ ස්ථාන වෙත යෑමට තීරණය කළේය. නමුත් ආරක්ෂක නිලධාරීන්ගෙන් ඒ සඳහා එකඟත්වයක් නොවීය. එහෙත් ආරක්ෂක උපදෙස් නොතකා වහාම කොච්චිකඬේ සහ කටුවපිටිය දේවස්ථාන වෙත ගිය කථානායකවරයා සිදු වී ඇති ඛේදවාචකයේ තරම කෙතෙක් දැයි දැක ගත හැකි විය. අනතුරුව කථානායකවරයා පිටත්ව ගියේ කොළඹ ජාතික රෝහල වෙතයි.

රෝහලේ ප‍්‍රතිකාර සේවාවන් පිළිබඳව සොයා බලන විට කථානායක කරු ජයසූරිය මහතා ද පැමිණියේය. කථානායකවරයාට ද තත්ත්වය පැහැදිලි කළ සෞඛ්‍ය අමාත්‍යවරයා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග, සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ යන මහත්ම මහත්මීන් කථා කර මීගමුව මූලික රෝහලේ රෝගී සත්කාරක සේවාවන් විධිමත්ව සිදු කරන අයුරු ඇගයීමට ලක් කළේය. තව ද කථානායකවරයාගේ සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චතුර සේනාරත්න මහතාගේ ඉල්ලීම මත සෞඛ්‍ය අමාත්‍යවරයා මීගමුව මූලික රෝහලට ජංගම මෘතශරීරාගාරයක් ද යොමු කළේ මළ සිරුරු වැඩි සංඛ්‍යාවක් එම රෝහලට ලැබීම හේතුවෙනි.

ජනපති සමග දමන ඞීල්
ඇමැති රාජිත හෙළි කරයි…

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සිංගප්පූරුවේ සිට ඉරිදා රාත‍්‍රියේ යළි ලංකාවට පැමිණියේය…. ඒ වන විට ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය හා අවුල් වියවුල් ගැන තොරතුරු ජනාධිපතිවරයාට ආරංචි වී තිබිණි…. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු හා අගමැතිවරයා රටේ ආරක්ෂාව දුර්වල වීම සම්බන්ධයෙන් මේ මොහොතේ තමන් වෙත වගකීම් පවරන්නට උත්සාහයක් දරමින් සිටින බවට ද ජනාධිපතිවරයාට තොරතුරු වාර්තා වී තිබිණි… එහෙත් ඔහුගේ උපදේශකයෝ ඔහුට උපදෙස් දුන්නේ එම මොහොතේ අගමැතිවරයා ප‍්‍රමුඛ ආණ්ඩුව සමග ගැටුමකට නොගොස් ඉතාමත්ම ප‍්‍රඥාගෝචර අන්දමින් මේ ප‍්‍රශ්නය ගැන කතාබහ කර ගන්නා ලෙසයි….

කලබලකාරි දිනය වූ ඉරිදා රාත‍්‍රියේ මුළු රටටම බලපාන පරිදි පොලිස් ඇඳිරි නීතිය ප‍්‍රකාශයට පත් කරන්නට ආරක්ෂක ඇමැතිවරයා වන ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණි…. විශේෂයෙන්ම පොලිසිය හා හමුදාව සියලූ වගකීම් කරට ගෙන රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු කරන්නට හැකි සෑම අයුරකින්ම ක‍්‍රියා කරමින් සිටින බව පෙනෙන්නට විය…

කෙසේ වෙතත් රටේ ජනාධිපතිවරයාගේ පාර්ශවයත් අගමැතිවරයාගේ පාර්ශවයත් අතර ආරක්ෂාව සම්බන්ධයෙන් තිබෙන ගැටුම් සඳුදා දහවල් වනතුරුත් සමථයකට පත්ව තිබුණේ නැත. අගමැතිවරයාගේ මෙහෙයවීමෙන් සඳුදා දහවල් අරලියගහ මන්දිරයේ දී දෙස් විදෙස් මාධ්‍යවේදීන්ගේ සහභාගිත්වය ඇතිව පවත්වන ලද පුවත්පත් සාකච්ඡුාවේදී මෙම තත්ත්වය කැපී පෙනෙන්නට විය.

මෙම පුවත්පත් සාකච්ඡුාව පවත්වන්නට පෙර එය පවත්වන්නෙ කුමන අරමුණ ඇතිව ද යන කාරණය පැහැදිලි කර ගන්නට ද අරලියගහ මන්දිරයේ වෙනමම සාකච්ඡුාවක් පැවැත්විණි. එම සාකච්ඡුාවේ දී බුද්ධි අංශ විසින් දැනුවත් කර තිබිය දී මෙම ප‍්‍රහාරය එල්ලවීම පිළිබඳ ජනාධිපතිවරයා සහ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ක‍්‍රියා නොකිරීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට තීන්දු විය. නමුත් එවිට සජිත් පේ‍්‍රමදාස, මංගල සමරවීර, කබීර් හෂීම් ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයා සමග අමනාප නොවී ඒකාබද්ධව මෙහිදී කටයුතු කළ යුතු බවයි.

නෑ… නෑ… අපි ජනාධිපති එක්ක ගැටුමකට යනවා නෙවෙයි… හැබැයි රටේ තිබෙන ඇත්ත තත්ත්වය ජනතාවට කියන්න ඕන.. සමහරු ගිහිල්ලා ?ට ?ට ජනාධිපති හම්බ වෙලා එයත් එක්ක ඞීල් දාගන්න එක වෙන්ම කතාවක්… හැබැයි මෙතනදී අපි පක්ෂය ආරක්ෂා කරගනිමින් ප‍්‍රතිපත්තිගරුකව වැඩ කරන්න ඕන…. රාජිත කීවේය.

කවුද කවුද ජනාධිපතිත් එක්ක ඞීල් දා ගන්නේ… කාටද ඔය ප‍්‍රහාර එල්ල කරන්නේ…. සජිත් තරමක් කේන්තියෙන් රාජිතගෙන් ප‍්‍රශ්න කළේය…. එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල සහ මලික් සමරවික‍්‍රම යන අමාත්‍යවරුන් දැඩි විරෝධයක් එල්ල කළේ සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාටය.

අවසානයේ රටේ ඇතිව තිබෙන තත්ත්වය ගැන රටට කියන්නට ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වන්නට තීන්දු විය.

”මම නං ඕකට ඉන්නේ නැහැ… මම යනවා ගෙදර…. කියමින් මංගල සමරවීර නැගී සිටින්නට උත්සාහ කරද්දී අනිකුත් ඇමැතිවරු ඊට විරෝධය දක්වා ඔහු වළක්වා ගත්හ… අවසානයේ මංගල සමරවීර ද එම පුවත්පත් සාකච්ඡුාවට සහභාගි වන්නට තීරණය කළ අතර රාජිත සේනාරත්නට එහි මුලසුන හොබවන්නට වගකීම් පවරා දුණි.

පොලිස්පති ඉවත් කරන්න
ඇමැති රාජිතගේ යෝජනාව

ඇමැති රාජිතගේ ප‍්‍රධානත්වයෙන් ආණ්ඩුවේ ප‍්‍රධාන ඇමැතිවරු සහභාගි වූ, අරලියගහ මන්දිරයේදී පැවැති පුවත්පත් සාකච්ඡුාව තුළ එක් විශේෂ දෙයක් සිදුව තිබිණි…

ඒ වන විට මෙම තවුහිද් ජමාත් සංවිධානයේ ත‍්‍රස්තවාදී කටයුත්ත ගැන අනතුරු හඟවමින් රාජ්‍ය බුද්ධි සේවාව පොලිස්පතිවරයාට හා නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිප දෙනෙකුට කර තිබූ පූර්ව දැනුම් දීම් සම්බන්ධ ලිපියක් සමාජ වෙබ් අඩවි මගින් ප‍්‍රචාරය වෙමින් තිබිණි. එහෙත් සමාජ මාධ්‍යවල කටයුතු කරන ආණ්ඩුවට හිතවත් ඇතැම් පුද්ගලයින් විසින් ඒ වන විටත් මෙම ලියුම කූට ලේඛනයක් බව හෙළිදරව් කර තිබිණි.

එහෙත් මෙම පුවත්පත් සාකච්ඡුාවේදී රාජිත ඇමැතිවරයා එම ලිපිය කූට ලේඛනයක් නොව, සැබෑ බුද්ධි තොරතුරු සහිත ලිපියක් බව පිළිගනු ලැබුවේ ය… මුළු පුවත්පත් සාකච්ඡුාවේදී රාජිත ඇමැතිවරයා සිංහලෙන් හා ඉංග‍්‍රීසියෙන් මාධ්‍ය දැනුවත් කළේ බුද්ධි අංශ විසින් මේ ආකාරයට තොරතුරු හෙළිදරව් කරනු ලැබුවද වගකිවයුතු ආරක්ෂක අංශ එම ලිපියේ තොරතුරු සැලකිල්ලට ගෙන නොමැති බව කියන්නටය…

ඇමැතිවරයා පෙන්වා දුන්නේ බුද්ධි අංශ මෙම ප‍්‍රහාරය ගැන කල්තියා දැනුම් දී තිබියදීත් අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සලසා නොගත් පොලිස්පතිවරයා හා ආරක්ෂක ලේකම්වරයා වහාම ක‍්‍රියාත්මක වන පරිදි අස් කර දමන ලෙස තමන් ජනාධිපතිවරයාට යෝජනා කරන බවකි. ඊට සහභාගි වූ ක‍්‍රිස්තියානු කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග ද වටිනා අදහසක් ඉදිරිපත් කළේය. ඔහු කිව්වේ පොලිස්පතිවරයා මෙම තොරතුරු ක‍්‍රිස්තියානි කටයුතු භාර ඇමැතිවරයා වන තමන්ව කල්තියා දැනුවත් කළේ නම් තමන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි කාදිනල්තුමා දැනුවත් කර මෙම දේවමෙහෙයන් නවත්වා දමා මේ විනාශයෙන් කතෝලික ජනතාව මුදවාගන්නට ක‍්‍රියා කරන බවකි. මේ ආකාරයෙන් මුළු පුවත්පත් සාකච්ඡුාවම යොදා ගැනුනේ ජනාධිපතිවරයා යටතේ තිබෙන ආරක්ෂක අංශ මෙම විපතේදී වගකීම් විරහිත ලෙස ක‍්‍රියාකර ඇති බව ඒත්තු ගන්වන්නට ය.

බුලිත ප‍්‍රදීප් කුමාර

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *