“මේක ඊළග ජනපති අපේකෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව ඉදිරිපත් කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය දියත් කරන විෂඝෝර ව්‍යාපාරයක එක් කොටසක් පමණයි” පසුගිය අගහරුවාදා පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මුල් පෙල සාමාජිකයෙක් වන ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය. වික්‍රමතුංගගේ ඝාතනයෙන් පසුව වසර 2ක කාලයක් පුරා බුද්ධි අංශ නිලධාරීන් 8 දෙනෙක් රඳවා තබාගෙන සිටි බවත්, අරමුණ වූයේ ගෝඨාභයව කොටු කිරීම බවත්, ඔහු කීවේය.හිටපු හමුදාපතිවරයා මෙම සිදුවීමට සම්බන්ධ බවට අගමැතිවරයා එදා ප්‍රකාශයක් කළ බව සිහිපත් කළ ඔහු, එම ප්‍රකාශය පාර්ලිමෙන්තුවේ හැන්සාඞ් වාර්තා අධ්‍යනය කිරීමෙන් සොයාගත හැකි බව පැවසුවේ ය.

වර්තමානයේ උද්ගතව තිබෙන මෙම තත්ත්වය 1982 වසරේ දී එවක ජනපති ජේ. ආර්. ජයවර්ධන මහතා, හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ සිවිල් අයිතිවාසිකම් අවලංගු කිරීමෙන් පසුව, ජනපතිවරණය පැවැත්වීමට සැළසුම් කළ ආකාරයට සමාන කළ අලහප්පෙරුම මහතා වර්තමානයේදී ජයවර්ධනගේ ඥාති පුත්‍රයා ද සැරසෙන්නේ ඒ ආකාරයටම කටයුතු කිරීමට බවට චෝදනා කළේය.

පසුගිය අගහරුවාදා සිට සැළකුවහොත් ජනපතිවරණයට තවත් ගෙවෙන්නට තිබෙන්නේ දින 179 ක් යැයි පැවසූ ඔහු, එවන් අවස්ථාවක මෙම වසරේ දෙසැම්බර් මස 7 වැනිදා ජනපතිවරණයක පැවැත්විය හැකි බව පෙන්වා දුන්නේය. ඒ අනුව නාමයෝජනා කැඳවීමේ අවසන් දිනය වනු ඇත්තේ ඔක්තෝබර් 21 වැනිදාය. අපේක්ෂකයින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීම ඔක්තෝබර් මස 5 වැනිදා වන විටවත් සිදුකළ යුතුය.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අදහස් දක්වමින්, ඇමරිකාවේ නඩු පවරා තිබෙන්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ ඇමරිකානු පුරවැසිභාවය අවලංගු කරගැනීමේ කටයුතුවලට බාධා පැමිණවීමට බව කිවේ ය.

නඩු පවරා තිබෙන්නේ පුරවැසිභාවය ඉවත්කිරීමට අවශ්‍ය ලියකියවිලි භාරදීමෙන් පසුව. ඒ නිසාම අධිකරණය ගන්නා තීරණයක් එය මත බලපෑමක් ඇතිකරන්නේ නැහැ. මේ ගැන අධ්‍යනය කර තිබෙන නීතිඥයින් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබා දී තිබෙනවා. ඔහු පැවසුවේ ය. නඩුවලට හේතුපාදක වී තිබෙන සිදුවීම්වලට කිසිදු පදනමක් නොමැති බව පැවසූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිල නායක තැන වන ජී.එල්.පීරිස් මහතා, එයට හේතුව වන්නේ මෙම සිදුවීම් සියල්ලක්ම මීට වසර 10කට පමණ පෙර සිදුව තිබීම බව පැහැදිලි කළේ ය.

-සන්ඩේ ටයිම්ස් දේශපාලන තීරුවෙනි……