සුළු ජාතික පක්ෂ වල ග්‍රහණයෙන් මිදීමට දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දිය යුතුයි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

2019 ජූනි 10 වන දින පැවැති පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස්.

මෙම මාධ්‍ය හමුව සදහා පක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායක යසපාල කෝරලගේ හෝමාගම ආසන සංවිධායක ප්‍රියන්ත හේරත් යන මහත්වරුන් ද සහභාගී විය.

සළු වීමේ ප්‍රතිශතය 12.5%ට වැඩි කර පලක් නෑ.  ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් දිය යුතුයි

එජාපය නමැති බල්ලා රිෂාඩ් නමැති වලිගය විසින් වනන හැටි පසුගිය සතියේ අපි දැක්කා.  රිෂාඩ් ඇමතිවරයාට ඉල්ලා අස්වන මෙන් එජාප කතෝලික මැති ඇමතිවරු බල කරන විට එතුමා කිව්වේ මොකද්ද? මට අයින් වෙන්න පුළුවන්.  හැබැයි මගේ මන්ත්‍රිවරුන් පස්දෙනා සමග මම ආණ්ඩුවෙන් යනවා.  ඒක කිව්වා විතරයි එජාප නායකයින්ගේ හුලං බැහැලා රිෂාඩ් ඉදිරියේ දණ ගැහුව්වා.  බල්ලා වලිගය වනනු මිස වලිගයට බල්ලා වනන්න ඉඩ දෙන්න බෑ.

සුළු පක්ෂ විසින් ආණ්ඩු නටවන එක ආරම්භ වුණේ මන්ත්‍රි ධූර ලබා ගන්න සළු වීමට පාරලිමේන්තු මැතිවරණයක දී ලබා ගත යුතු ඡන්ද ප්‍රතිශතය 12.5% සිට 5% දක්වා ප්‍රේමදාස ජනපතිතුමා විසින් අඩු කළ නිසා කියලා හැමෝම තොරතෝංචියක් නැතුව කියනවා.  නමුත් ඇත්ත ඒක නොවේ.  දැන් සළු වන ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ ආණ්ඩු නටවන එක නතර වෙනවා ද? කිසිසේත්ම නෑ.  ඔවුන් 1994 පසු කවදාවත් ස්වාධීනව ඡන්දය ඉල්ලා නෑ.  ඔවුන් ඡන්දය ඉල්ලන්නේ ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකින් නිසා සළු වීමේ ප්‍රතිශතය කීය වුණත් ඔවුන්ට ඒක අදාල නෑ.

සළුවීම් ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කලොත් මුස්ලිම් පක්ෂ වලට කෙසේ වෙතත් ජවිපෙ සහ ඊපිඩීපි වලට නම් මන්ත්‍රි ධූර නැති වෙනවා.  ඊපිඩීපි වලට මන්ත්‍රි ධූර නැති කලොත් උතුර ටීඑන්ඒ ඒකාධිකාරයට යට වෙනවා. ජවිපෙ මතවාද සමග අපි එකග නෑ. නමුත් ඔවුන්ට සිය මතවාදවන් ප්‍රකාශකිරීමට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් තිබිය යුතුයි.  ජවිපෙ පාරලිමේන්තුවෙන් පිට මං කලොත් නැවත ආයුද අතට ගන්නත් ඉඩ තිබෙනවා.

ප්‍රධාන පක්ෂ වලට සුළු පක්ෂ මත යැපෙන්න වෙලා තිබෙන්නේ පවතින මැතිවරණ ක්‍රමය නිසා.  මේ ක්‍රමය යටතේ දෙවරක් හැර අනිත් සෑම අවස්ථාවකම දිනන පක්ෂයට පාරලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන 113 ලබා ගන්න බැරි වෙලා තිබෙනවා.  ඉතිහාසය පුරා දිනන පක්ෂයට ලැබී තිබෙන්නේ මන්ත්‍රි ධූර 105ක් සහ 109ක් අතර ගණනක්.  පසුගිය පාරලිමේන්තු මැතිවරණයේ දී ලැබුණේ  එජාපයට ලැබුණේ මන්ත්‍රි ධූර 106යි.

කවුරු දින්නත් දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දුන්නොත් සුළු පක්ෂ මත යැපෙන්නේ නැතුව ස්ථාවර ආණ්ඩුවක් හදන්න පුළුවන්. උදාහරණයක් විදිහට ආසන 105 අරගෙන මැතිවරණය යම් පක්ෂයක් ජයග්‍රහණය කලහොත් ප්‍රසාද මන්ත්‍රි ධුර 15ත් සමග මන්ත්‍රිධූර 120 ලැබෙනවා. එවිට මන්ත්‍රිවරුන් හත් අට දෙනෙකුට අපි ආණ්ඩුවෙන් යනවා කියලා ආණ්ඩුව නටවන්නට බෑ. ඒ නිසා සළුවීමේ ප්‍රතිශතය 12.5% දක්වා වැඩි කිරීම වෙනුවට ප්‍රධාන පක්ෂ දෙකම එකතු වෙලා දිනන පක්ෂයට ප්‍රසාද මන්ත්‍රි ධූර 15ක් ලබා දීමට ව්‍යවස්ථා සංශෝධණයක් හරහා කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා දේශපාලන කෑදැත්තන් ද?

පසුගිය මැයි 31 දා මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකාවට විදේශීය හමුදාවන් ගේන්න එපා කියා ඉල්ලීමක් කළා.  පෙරේදා පා ච රණවක ඇමතිතුමා ප්‍රකාශයක් කරමින් විදේශ හමුදාවන් ලංකාවට ගේනවා කියා බොරු බියක් ඇති කරන්න දේශපාලන කෑදැත්තන් උත්සාහ කරනවා කියා චෝදනා කළා.  රණවක ඇමතිතුමා දේශපාලන කෑදැත්තන් කියා අපහාස කරන්නේ මහනායක ස්වාමින් වහන්සේලාට සහ කාදිනල්තුමාට නොවේ ද?  කෑදැත්තා කියන්නේ හොට වක්‍රව තිබෙන කුරුල්ලෙක්.  දේශපාලන කෑදැත්තා කියන්නේ වක්‍රව දේශපාලනය කරන අයටයි.  මේ ඇමතිතුමා කියන්නේ මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා වක්‍රව දේශපාලනය කරන බව නේද?

මහනායක ස්වාමින් වහන්සේලා සහ කාදිනල්තුමා බොරු බියක් මවන්නේ නෑ.  උන් වහන්සේලා ප්‍රකාශ කරන්නේ සහතික ඇත්ත.  2007 දී අත්සන් කළ Acquisitions and Cross Servicing Agreement නැතිනම් ඇක්සා ගිවිසුම පිටු 7යි.  නමුත් 2017 දී අත්සන් කළ ගිවිසුමේ පිටු 54යි.  මේ ගිවිසුමට ඇතුළත් කළ අළුත් කරුණු මොනවාද?  ඒ ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඒ වගේම මැයි 15 සිට 17 දක්වා ඇමෙරිකාවේ  ගත කළ තිලක් මාරපන ඇමතිතුමා එහි දී සාකච්ඡා කළ Status of Forces Agreement හෙවත් සෝෆා ගිවිසුම ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?  ඇමෙරිකානු හමුදාවන්ට නිල ඇඳුම් ඇඳගෙන අවි දරාගෙන ලංකාවේ ඕනෑම තැනක ඇවිදින්න පුළුවන් වන බවත් ඔවුන් මොන අපරාධයක් කළත් තානාපති මුක්තිය හිමි වන බවටත් වගන්ති ඒ ගිවිසුමේ අඩංගු බව මාධ්‍ය වාරතා කළා.  ඒක බොරු නම් ඇත්ත කෙටුම්පත රටට ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ ඇයි?

අවුරුදු පහකට බලයට එන ආණ්ඩු වලට අවුරුදු 10ක් 35ක් හෝ 99ක් රට ගැට ගැසෙන ගිවිසුම් අත්සන් කරන්න බැරි වන ආකාරයෙන් අපේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි කියා අපි යෝජනා කරනවා.

https://www.youtube.com/watch?v=Be6fWFYV46w

මංගලගේ ආමිස පූජාවන්ට යතිවරයන් යට වෙන්නේ නෑ

ජාතියේ පවට උපන් කට හීලෑ නැති ඇමති මංගල ඊයේ අපූරු ප්‍රකාශයක් කළා.  ගම්පහ දිස්ත්‍රික්කයේ පන්සල් 378කට රුපියල මිලියන 208ක් ලබා දී තිබිය දී මට පන්සල් වලට ඇතුළුවීම තහනම් කලේ ඇයි කියලා එතුමා ප්‍රශ්න කරනවා.  මංගල ඇමතිතුමනි, බුදු දහම රැක ගන්නවා කියන්නේ හාමුදුරුවන්ට සල්ලි දීලා සාක්කුවේ දාගන්න හදන එක නොවේ.  කහ සිවුර කවදාවත් ආමිස පූජාවන්ට යට වුණේ නෑ.  හාමුදුරුවරුන් ආමිස පූජාවන්ට යට වුණා නම් උඩරට රාජධානිය අල්ලා ගන්න සුද්දන්ට 1815 වන තුරු ඉන්න වෙන්නේ නෑ.  මේ කහ රෙදි පොරවා ගත් හමුදාව සිටිනා තුරා අපට ලංකාව යටත් කර ගන්න බෑ කියා සුද්දා ලියන්නෙත් නෑ.

වසර 2,300ක් අඛණ්ඩව බෞද්ධයින් බහුතරයක් ජීවත් වුණු ලොව එකම රට ලංකාවයි.  ලෝකයේ වෙනත් කිසිම රටක් එතරම් දිගු කලක් එකම ආගමක් සමග පැවතිලා නෑ. අපේ රටේ ඉන්න සහහෝදර ආගම්වල නායකයන් එය ඉතාම නිහතමානීව පිළිගන්නවා. නව ලිබරල්වාදී මංගල සමරවීර අමාත්‍යවරයා ඇතුලු අතලොස්සක් පමණයි ඒ තිත්ත ඇත්ත පිළිගන්න  අකමැති වෙලා තියෙන්නේ. මේ රට බෞද්ධ රටක් නොවේ කියා ඇමති මංගල කියනවා නම් එයාව පන්සල් වලට වැද්ද ගන්න කිසිම භික්ෂුන් වහන්සේ නමකට බෑ.  ආමිස පූජාවන්ට යට වන භික්ෂුන් වහන්සේලා ඉන්නවා නම් හෙලි කරන්න කියලා අපි මංගල ඇමතිතුමාට අභියෝග කරනවා.

අගමැති පරිවාර ඇමැති වී රට  බාල්දු කරයි

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දියානු අගමැතිවරයා රටේ ජනාධිපති විපක්ෂ නායක පමණක් නොවේ හිටපු විපක්ෂ නායක සම්බන්ධන් මැතිතුමා හමු වීමට වෙලාව වෙන් කළා. නමුත් රටේ අගමැතිවරයාගේ කල් ඉකුත්වීමේ දිනයක් දැන් පැනලා එතුමා හමු වීමෙන් දැන් ඇති වැඩක් නැහැ කියලා වෙන්නැති අගමැති හමුවීමට වෙලාවක් වෙන් කරලා තිබුණේ නැහැ.

නරේන්ද්‍ර මෝදි මැතිතුමා ඉන්දියාවේ  අගමැතිවරයා.  එයට අනුරූපී සගයා වෙන්නේ ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. හැබැයි හිටපු විපක්ෂ නායකතුමාටත් කාලය වෙන් කළත් වත්මන් අගමැතිතුමාව හමුවීම කාලය නාස්තියක් කියලා මෝදි මැතිතුමන් කල්පනා කරල තිබුනා.

අන්තිමට අගමැතිතුමා ගුවන්තොටුපළට දුවලා ගිහිල්ලා පරිවාර ඇමතිතුමාව කනෙන් ඇදලා එලියට දාලා මෝදි මැතිතුමාගේ වාහනයට නැගලා ගමන යන විටත් ආපසු ගුවන් තොටුපලට එන විටත් පරිවාර ඇමතිවරයාගේ රාජකාරිය කළා. පරිවාර ඇමැති ලෙස පත්කළ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා තමන්ට වෙච්ච නස්පැත්තිය ගැන පැත්තකට වෙලා දුකෙන් බලාගෙන ඉන්න සිද්ධ වුණා. මේ ලෝකයේ කිසිම රටක අභිමානවත් අගමැතිවරයෙක් වෙනත් රටක අගමැතිවරයකු ගේ පරිවාර අගමැති ධූරය දරන්නේ නෑ.

අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාට කියනවා ඔබතුමා වෙනුවෙන් කාලයක් වෙන් කර නැත්නම් ඔබට මා එක වරක් එපා නම් මට ඔබ දහස් වාරයක් එපා කියලා මෝදිට පණිවිඩයක් යවලා පැත්තකට වෙලා නිකන් ඉන්නට තිබුනා. ඒ වෙනුවට ඉන්දීය අගමැතිවරයාගේ පරිවාර ඇමතිවරයා ලෙස කටයුතු කරන්නට යෑමෙන් හෑල්ලුවට ලක් කළේ මේ රටේ ගෞරවනීය අගමැති තනතුරයි. ගරු රනිල් වික්‍රමසිංහ අගමැති තුමනි අප කැමති වුනත් නැතිවුනත් ඔබතුමා කැමති වුනත් නැතිවුනත් ඔබතුමන් තමයි මේ රටේ අගමැති. ඒ නිසා ඒ ගෞරවනීය තනතුර හෑල්ලුවට ලක්කරන්න එපා කියලා අපි එතුමන්ට කියනවා.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *