සහරාන් හෂීම් පොලිස්පති පූජිත්ගේ භාවනාව අධ්‍යයනය කරලා?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පොලිස් දෙපාර්තමේන්තුව තුළ 3552 යනුවෙන් හැඳින්වෙන්නේ සෑම පොලිස් ස්ථානයකම රාජකාරි ආරම්භ කිරීමට භාවනා කිරීම අනිවාර්ය කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය ප්‍රකාරව සිදු කෙරෙන භාවනා වැඩසටහනයි.

මෙහිදී උදෑසන 8.30ට ජාතික ගීය ගායනා කළ යුතු අතර ඉන් පසුව පොලිස් ගීතය ගායනා කළ යුතුය. භාවනා වැඩසටහන ආරම්භ වන්නේ ඉන් අනතුරුවය.

පළමු විනාඩි තුන පොලිස්පතිගේ නිර්මාණයක් වූ අරමුණු පැහැදිලි කරගැනීමේ සමාධි භාවනාව ද ඊළඟ විනාඩි පහ මෛත්‍රී භාවනාව ද ඊළඟ විනාඩි පහ ආනාපානසති භාවනාව ද අවසන් විනාඩි දෙක පොලිස්පතිගේම නිර්මාණයක් වූ පසු විපරම් භාවනාව ද වශයෙන් භාවනා කිරීමට පොලිස්පතිවරයා මෙම චක්‍රලේඛය හරහා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු සෑම සේවකයකුටම නියෝග කර තිබිණි.

මෙම නියෝගයට අනුගත නොවී එදිනෙදා රාජකාරි කළ පොලිස් මූලස්ථානයේ විදුලි සෝපාන ක්‍රියාකරුවකු වූ සමරකෝන් බණ්ඩා මහතාට 2017 අප්‍රේල් මාසයේ දිනකදී සිදුවූයේ පොලිස්පතිවරයාගෙන් පහර කෑමටය. භාවනා නොකළ අන්‍යාගමික පොලිස් පරීක්ෂකවරයකුට සිදුවූයේ කුණුහරුපයෙන් බැණුම් අහන්නටය. සමරකෝන් බණ්ඩාට පහරදීම මහත් ආන්දෝලනයකට ලක්වූ නමුත් පොලිස්පතිවරයාට එරෙහිව බලධාරීන් කිසිවකු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ ද නැත. එහෙයින් ඉන් ඉදිරියට පොලිස්පතිවරයාගේ භාවනා වේලාව තුළ අන් කිසිවක් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරුන්ගේ සිට නියෝජ්‍ය පොලිස්පතිවරුන් දක්වා කිසිවකුත් නිර්භීත වූයේ නැත.

ජාතික ගීය සහ පොලිස් ගීය ගායනා කරමින් 8.30ට ආරම්භ කෙරෙන වැඩසටහන, විනාඩි 15ක භාවනා කාලය සහ සූදානම් වීමේ කාලයත් සමඟ උදෑසන 9.00 පමණ දක්වා ඇදෙයි.

රටේ ජාතික ආරක්ෂාව බිංදුවටම වැටෙන්නේ මේ වෙලාවටය. මන්දයත් රටේ සිටින සියලුම පොලිස් නිලධාරීන් මේ වේලාවට දෑස් වසාගෙන භාවනාවේ නිරත වන බැවිනි. දෙපා මුල බෝම්බ පිපිරෙනවාය කීවත් භාවනාවෙන් නැගිටින්නට ඔවුන් බිය බැවිනි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාවේ මහ මොළකරු වූ සහරාන් හෂීම් සිය පළමුවන බෝම්බ ප්‍රහාරය එල්ල කළේ උදෑසන 8.46ටය. එනම්, සියලුම පොලිස් නිලධාරීන් දෑස් වසාගෙන භාවනාවේ නිරත වී සිටින විටදීය. එතැන් පටන් උදෑසන 9.00 වන තෙක් ප්‍රහාර මාලාවක් ලෙසින් බෝම්බ පිපිරිණි.

මේ අනුව පෙනී යන්නේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා සිටින පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වන වේලාවම සහරාන් හෂීම් විසින් සිය බෝම්බ ප්‍රහාර මාලාව ඇරඹීමට තෝරාගෙන ඇති බවයි.

නොඑසේ නම් සහරාන් හෂීම් පොලිස්පති පූජිත්ගේ 3552 අධ්‍යනය කර ඇති බවයි.

පොලිස් මූලස්ථානයට අල්ලපු වැටේ මෙන් පවතින කිංස්බරි හෝටලයේ බෝම්බ පිපිරෙද්දීත් පොලිස් මූලස්ථානයෙන් කිසිවෙකුත් දුවගෙනවත් නොපැමිණියේ 3552 නිසා නොවේද ?

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *