රටම පිළිකුල් කළත් රටම හොල්ලන් ඉන්න කවුද මේ රිෂාඩ් බදියුදීන්?

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ඔහු නමින් රිෂාඩ් බදියුදීන්ය. මේ දිනවල මහ මැඳුරේ සිට ගමේ පැල්පත දක්වා කතාවන්නේ ඔහු පිළිබඳවය. එනිසාම අපි රිෂාඩ් බදියුදීන්ගේ චරිතයේ වතගොත සොයා බැලීමට අදහස් කළෙමු.

රිෂාඩ් බදියුදීන් වර්තමානයේ කැබිනට් අමාත්‍යවරයෙක් බව කවුරුත් දනිති. ඔහුගේ අමාත්‍ය පට්ටම තරමක් දිගය. ඊට අනුව ඔහු අද ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයාය. 1972 වසරේ නොවැම්බර් 27 වන දින උපන් හෙතෙම අද 47 වියැති විවාහකයෙකි. ඔහු මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික ඩිප්ලෝමාව හදාරා ඇත. පසුව එක්සත් රාජධානියේ වරලත් ඉංජිනේරු ආයනයේ සාමාජිකත්වයද ලබාගෙන තිබේ.

බදියුදීන් 90 දශකයේ මන්නාරම සහ වන්නි දිස්ත්‍රික්කවල තාක්ෂණික නිලධාරියකු (T.O) වශයෙන් කටයුතු කර ඇති බව කියැවේ. පසුකලෙක LTTE තර්ජන හමුවේ මෙම ප්‍රදේශවල විසූ මුස්ලිම් ජනතාවට සිය ගම්බිම් හැර යන්නට සිදුවිය. පුත්තලම දිස්ත්‍රිකයේ විශාල අවතැන්වූවන්ගේ කඳවුරක් නිර්මාණ වූයේ ඒ අනුවය. බදියුදීන්ගේ නායකත්වය ගොඩනැගෙන්නට පටන්ගන්නේ එතැනින් යැයි කියැවේ. එවක අමාත්‍යවරයකු මාර්ගයෙන් කඳවුරේ සුභසාධන නිලධාරියා බවට පත් වූ බදියුදීන් සිය දේශපාලන ගමන එතැනින් ඇරැඹීය.

බදියුදීන්ගේ දේශපාලන ගමන පිළිබඳ සාක්ෂි දරන්නකු වන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා අප හමුවේ අතීතය ආවර්ජනය කළේය. 90 දශකයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධූර සඳහා සහ අපේක්ෂකත්වය පිළිබඳව කැඳවීමක් කර තිබේ. බදියුදීන් එම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමට පැමිණ සිටියේය. ශ්‍රීලනිප මූලස්ථානයේ මෙදින සම්මුඛ පරීක්ෂණ සිදුකර ඇතිතේ සී.බී. රත්නායක මහතා, එම්.එච්.එම්. ෆවුසි, ජෝන් සෙනෙවිරත්න යන පක්ෂයේ ජේෂ්ඨයන් පිරිසක් විසිනි. එදා ඔවුන් බදියුදීන්ගෙන් එහි පැමිණි ආකාරය පිළිබඳ විමසීමක් කර ඇත. එදා බදියුදීන් පවසා ඇත්තේ තමා පා පැදියෙන් පැමිණි බවයි. සාමාන්‍යයෙන් පක්ෂයක මෙවන් සම්මුඛ සාකච්ඡාවකදී වත් පොහොසත්කම් පිළිබඳ විමසීම සිරිතකි. සී.බී. රත්නායක එය විමසූවිට තමාට ට්‍රැක්ටර් දෙකක් තිබෙන බව බදියුදීන් පැවැසූ බව කියැවේ.

සී.බී. රත්නායක මහතා පවසන අන්දමට 2000 වසරේදී මැතිවරණ ජයග්‍රහණයෙන් පසු පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර යනවිට බදියුදීන් ද ඔවුන් සමඟ එජාපය හා එකතු වී ඇත. ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ එක්ව එදා ඔහු එජාපයට ගිය බව රත්නායක මහතා පවසයි. පසුව රිෂාඩ් බදියුදීන් අණ්ඩු කරන පක්ෂයට එක්ව සහාය දී තනතුරු ගැනීමේ න්‍යාය අනුගමනය කර තිබේ.

රිෂාඩ් බදියුදීන්ගේ දේශපාලන ඉතිහාසය සම්බන්ධ තවත් කතාවක් අපට අසන්නට ලැබුණි. එය මෙසේය. 

වරක් පොඩිවුණු කලිමක් ඇඳ සිටි බදියුදීන් මහින්ද රාජපක්ෂ ජනපති සමයේ අරලියගහ මැඳුරට පැමිණ තිබේ. ඒ අවස්ථාවේදී ඔහුට මුදල් හදල් යහමින් නොතිබුණු බව කියැවේ. එහිදී ඉහළ නිලධාරියකු ඔහුට සුළු මුදලක් ලබාදුන් බවද කියැවේ. මේවා දේශපාලන ප්‍රභූන් අතර ඇති කතාය. ඉහත කතා කෙසේ වෙතත් 2001 පාර්ලිමේන්තු මැතිවරණයේදී රිෂාඩ් බදියුදීන් පළමුවරට පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත්තේ මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමිනි. ඔහුට එවකට ලැබුණේ මනාප 9276 කි. මැතිවරණයෙන් පසු මුස්ලිම් කොන්ග්‍රසය එකසත් ජාතික පක්ෂය සමඟ සන්ධානගත වී ආණ්ඩුව පිහිටු වූයේය. 2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී මනාප 15,981 ලබාගනිමින් බදියුදීන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයි. මෙම මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයගත් අතර නව ආණ්ඩුවට එක්වීම සම්බන්ධයෙන් මුස්ලිම් කොන්ග්‍රසයේ අභ්‍යන්තර අර්බුදයක් හටගත්තේය. බදියුදීන් ඇතුළු පිරිසක් එකසත් ජනතා නිදහස් සන්ධානයට එක් වූ අතර අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහිවිය. (ACMC) බදියුදීන්හට අමාත්‍ය ධූරයක් හිමිවූ අතර පසුව ඔහු කැබිනට් තත්ත්වය දක්වා උසස්විය.

2010 මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් නැවත රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. එවර ඔහුට මනාප 27,461 ලැබුණි. මෙවර ඔහු නියෝජනය කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයයි. මේ වනවිට සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසය (NDF) වී තිබූ අතර බදියුදීන් එහි නායකත්වයට පත්ව සිටියේය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල අමාත්‍යවරයකු වූ රිෂාඩ් බදියුදීන් උතුරු වසන්තය යටතේ සිදුකෙරුණු සංවර්ධන ක්‍රියාවලියේදී බැසිල් රාජපක්ෂ අමාත්‍යවරායගේ සමීපතමයෙක් විය.

මේ කාලය වනවිට යුද්ධයෙන් අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීමේ පුරෝගාමී චරිතයක් වූ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විල්පත්තු අර්බුදයට පැටලෙන්නේ මේ වකවානුවේදීය. 2011 සහ 2012 වසරවලදී උතුරු වසන්තය යටතේ ඔහු විසින් නැවත පදිංචිය කිරීමේ ව්‍යාපෘති හරහා වනාන්තර විනාශයක් සිදුකරන බවට චෝදනා එල්ල විය. පාරිසරික සංවිධාන, සිවිල් සංවිධාන මෙහි ප්‍රමුඛත්වය ගත්තේය. අවසානයේ එය අධිකරණය දක්වා දිගඇදුණු අතර අමාත්‍යවරයා තවමත් චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටී.

2015 ජනාධිපතිවරණයේදී යහපාලනය උදෙසා සහය දීමට මෛත්‍රී කඳවුරට එක්වන්න බදියුදීන් තීරණය කරයි. ඒ වනවිට බදියුදීන් මුස්ලිම් ජන නායකයෙක් බවට පත්ව සිටි අතර ඔහුගේ සහයෝගය ජනාධිපතිවරණයේ තීරණාත්මක සාධක අතරින් එකක් විය. ජනාධිපතිවරණයෙන් පසු පිහිටුවන යහපාලන රජයේ ප්‍රබල අමාත්‍යවරයෙක් බවට ඔහු පත්විය. 2015 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලයිස්තුවෙන් රිෂාඩ් බදියුදීන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර. මෙවර ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් පස්දෙනෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරති. ඒ සමඟම ඔහුට ලංකා දේශපාලනයේ පෙර නොතිබූ තීරක බලයක් ලැබුණි. ආණ්ඩුවේ පැවැත්මට බදියුදීන් සාධකය ප්‍රබල ලෙස බලපා තිබේ.

2017 වර්ෂයේදී සතොස ගබඩාවකට සීනි ප්‍රවාහනය කරන කන්ටේනරයක තිබී කොකේන් කිලෝ 218 හසුවීම බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වන මීළඟ චෝදනාවයි. මෙහිදී බොහෝදෙනා ඔහු වෙත සෘජුව චෝදනා කළ අතර කාලයක් සමඟ එය යටපත් වී ගියේය. නැවත විල්පත්තු විරෝධයද විටින්විට මතුවෙමින් ගිලිහෙමින් ගමන් ගත්තේය. මේ සියලු කරුණු අරභයා රිෂාඩ් බදියුදීන් විරෝධීය ආකල්පයක් සිංහල සමාජය තුළ නිර්මාණය වී තිබිණි. සිංහල බෞද්ධ ජාතික සංවිධානය විසින් බදියුදීන් අමාත්‍යවරයා ජාතිවාදී අන්තවාදියකු ලෙස හඳුන්වන්නට පටන්ගෙන තිබුණි. විල්පත්තු ප්‍රමුඛ කොට ඇරැඹි බදියුදීන් විරෝධය ජනගත වූයේ ඒ අනුවය.

මෑතකාලීනව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සහ ඔහු හා සිදුවීම් සම්බන්ධව බොහෝදෙනාට අවබෝධයක් ඇත. බදියුදීන්ට එරෙහිව විශ්වාසභංගය රට කළඹන මොහොතේ අප මේ සටහන තැබුවේ රිෂාඩ් බදියුදීන් යනු කවුදැයි ඔබට දළ අවබෝධයක් ලබා දීමටයි. අවසානය වශයෙන් කිවයුත්තේ බදියුදීන්ගේ ඉතිහාසය සෙවීම දුෂ්කර බවයි. කෙසේ නමුත් අප සොයාගත් මෙම කරුණු ජනගත කරනුයේ ඔහුට අපහාසයක් පිණිස නොව මහජනතාවගේ දැනගැනීම පිණිසම පමණි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *