බුදු දහමින් ප්‍රකට වන මානව හිතවාදී විශ්වාන්තරවාදය

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ක්‍රි. පූ. 6 වන සියවස භාරතීය සමාජය විවිධ ආගමික සමයාන්තරයන්ගෙන් ගැවසී ගත් දාර්ශනික වශයෙන් විප්ලවීය අවධියකි. මේ සියලු ආගමික චින්තාවන් අභිබවනය කරමින් තමාට තමා මෙන්ම තමාගේ ඓහ ලෞකික හා පාර ලෞකික ජීවිතය පිළිබඳ යම් විශ්වාසයකින් යුතුව ක්‍රියා කිරීමට හැකි බෞද්ධ දාර්ශනික ඉගැන්වීම නම් අභිනව ධර්ම ප්‍රවාහය සමාරම්භ වන්නේ මෙවන් පසුබිමකය. තත්කාලීනව පැවති සියලු මිත්‍යා දෘෂ්ටින් දෙසැටක්‌ ශාස්‌වතවාද හා උච්ඡේදවාද වශයෙන් නිශේධනය කරමින්, ශරීරයට අධික ලෙස දුක්‌ දීම නම් වූ අත්තකිලමථානුයෝගයෙන් ද, අධික ලෙස සැප දීමෙන් තොර වූ කාමසුඛල්ලිකානු යෝගයෙන් ද පරිබාහිර වූ මධ්‍යම ප්‍රතිපදානුගත වූ මෙම නව්‍ය ධර්ම ප්‍රතිපත්ති මාලාව එකල වැසි හා තුළත් නව අවධානයක්‌ ඇති කරවීය. 
 
 පස්‌වඟ තවුසන් අරභයා දම්සක්‌ පැවතුම් සූත්‍ර දේශනාව තුළින් ධර්මාවබෝධය ලබාදීම මඟින් ආරම්භ කළ මෙම ධර්ම මාර්ගය එකව පැවති ශ්‍රමණ – බ්‍රාහ්මණ ද්වි සම්ප්‍රදායන්ගෙන් ශ්‍රමණ කොටසට අයත් විය. උන්වහන්සේගේ මෙම බෞද්ධ ශ්‍රමණ ප්‍රතිපදාව භික්‌ෂු, භික්‌ෂුණි, උපාසක, උපාසිකා යන සිව්වණක්‌ පිරිසෙන් සමන්විත විය. එවාගේම තම ධර්ම දූත පිරිස්‌ පිටත් කර හරින්නේ ද ”චරථ භික්‌ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය…..” ආදී වශයෙන් පුළුල් පරමාර්ථයක්‌ ඔස්‌සේ බව ද පැහැදිළි වෙයි. තමාගේ විමුක්‌තිය මෙන්ම සකල සත්ත්වයාගේ අවිදු අඳුර දුරු කර – විදු එළිය ඇති කර සසරින් එතෙර වන මඟ කියා දීම එහි ප්‍රධාන අභිලාෂයයි. 
 
 තෙරුවන් සරණ යාමෙන් අනතුරුව පංචශීල ප්‍රතිපත්තිය මූලිකව ක්‍රියා කිරීම එහි මූලික පදනමයි. ප්‍රාණඝාතයෙන්, අදින්නාදානයෙන්, කාමමිථ්‍යාචාරයෙන්, මුසාවාදයෙන් හා සුරාමේරයෙන් තොරව කටයුතු කිරීම එහිලා ප්‍රකට වෙයි. මෙහිදී බුදුන් වහන්සේ වදාළ කුසල – අකුසල ධර්ම පර්යාය ප්‍රධාන ඉගැන්වීමක්‌ ලෙස දැක්‌විය හැකිය. එනම් චුලලකම්ම විභංග සූත්‍රයේ සඳහන් ආකාරයට ”යං කම්මං අත්තබ්‍යාබාධාය, පරබ්‍යාබාධාය, උභයබ්‍යාබාධාය සංවත්ෙත්‍යය තං ධම්මං අකුසලං…..” යම් ක්‍රියාවක්‌ තමාට අනුන්ට හා දෙපක්‌ෂයටම අහිත, අයහපත, කරදරය පිණිස පවතී නම් එය නොකළ යුතු අකුසලයෙකි. ඒවාගේම යම් ක්‍රියාවක්‌ දෙපක්‌ෂයටම එසේ නොවන්නේ නම් එය යහපත පිණිස පවත්නා කුසල ධර්මයකි. මෙහිදී හැමවිටම තමන්ට පමණක්‌ නොව අනන්‍යයන්ටද කරදරයක්‌ වන්නේ ද යන්න සලකා බැලිය යුතුය. 
 
 සියලු සත්ත්වයෝම ද`ඩුවමට බිය වෙති, ඒවාගේම ජීවිතයට ප්‍රිය වෙති. එනිසා අප අපගේ ජීවිතයට කරදරයක්‌ නොවී ආරක්‌ෂා කර ගැනීමට උත්සුක වන්නා සේම, අන් සත්ත්වයන්ද තම ජීවිත ආරක්‌ෂා කර ගැනීමට මූලිකව ක්‍රියා කරයි. බුදුන් වදාළ මෙම අත්තූපනායික ධර්ම පර්යාය සුවිශේෂී ඉගැන්වීමකි. ”සබ්බේ තසන්ති දණ්‌ඩස්‌ස – සබ්බේ භායන්ති මච්චුනෝ – අත්තානං උපමංකත්වා – නහණෙයH න ඝාතයේ” තමා තමාගේ ජීවිතය විනාශ කරනවාට තමන් අකමැති සේම අන් සත්ත්වයන්ද ඒ සඳහා අකමැති බව තමා උපමා කොට සැලකීම මෙහි ප්‍රධාන අධ්‍යාසයයි. ජීවිත පැවැත්ම හා සම්බන්ධ අනිකුත් කටයුතු වලදී ද මෙම තත්ත්වය ක්‍රියාත්මක විය යුතුය. ඒවාගේම තම ජීවිතය දුකට පත් කරන දේවල් කිරීම හා බිණීමද නොකළ යුතුය. ඒවාගේම තම ජීවිතයට සැප ළඟා කරන කටයුතු කිරීම හා බිණීම ද කළ යුතුය. 
 
 තම සිත මුල් කොටගෙන මේ සියලු දේ ක්‍රියාත්මක වෙයි. ඒ අනුව ”මනසා ෙච් පසන්නේන – භාසති වා කරෝති වා – තතෝනං සුඛමන්වේති….” යනුවෙන් සැප ලැබීම ගැන ද ”මනසා ෙච් පදුට්‌ඨේන – තතෝනං දුක්‌ඛමන්වේති…” යනුවෙන් දුක ලැබීම ගැන ද සඳහන් වෙයි. මේ අනුව තමාගේ ජීවිතය කරා සැප හෝ දුක ළඟාකර ගන්නා පුරෝගාමියා, ස්‌වාමියා වන්නේ ද තමාමය. මෙහිදී පහසුවෙන් පෝෂණය කළ හැකි බව හා සැහැල්ලු පැවැත්ම අනුව දිවි පැවැත්ම වඩාත් වැදගත් වෙයි. දඬු මුගුරු ආදියෙන් පහරදීම, ජීවිත විනාශ කිරීම බෞද්ධ ඉගැන්වීම නොවේ. බුදුදහම පරම අවිහිංසාවාදය ගුරුකොටගත් ”අඤ්ඤමඤ්ඤ පිය චක්‌ඛුහි සම්ඵස්‌සමානා….” ආදී ලෙස ඔවුනොවුන් ප්‍රිය ඇසින් බලමින්, විවාද නොකරමින්, කිරිදිය සේ මිශ්‍රව සමගිව ජීවත් විය යුතු බව අවධාරණය කරයි. 
 
 ලෝකයේ පහළ වූ ආගමික ශාස්‌තෘන් අතර අන්‍යාගමික සහනශීලිතාව ඉහළින්ම අගය කළ උත්තරීතර ශාස්‌තෘවරයා බුදුරජාණන් වහන්සේය. සාමයික අසහනය පිරුණු සමාජ පසුබිමක බුදුරදුන් අනුගමනය කළ ක්‍රියා කලාපය වූයේ අන්‍ය සමයවාදීන් පිළිබඳව සානුකම්පිත ගෞරවයෙන් යුක්‌තව කටයුතු කිරීමයි. ”ඉධමේව සච්චං මෝඝමඤ්ඤං” අනුව මේ මාගේ ධර්මයම සත්‍යය, අනිත්වා අසත්‍ය යන ආත්මාභිමානයකින් උන්වහන්සේ ක්‍රියා නොකළහ. අන්‍යාගමික ශ්‍රමණ බ්‍රාහ්මණිකයන්ගේ වුව ද යහපත් ගුණාංග දකිමින් ඔවුන් හා ඉතා සුහදශීලිව ඇසුරු කිරීම උන්වහන්සේගේ සිරිත විය. බුදුන්වහන්සේ ඉඩහසර ඇති කල්හි අන්‍යාගමික ආරාම කරා වැඩම කළ අතර ඒවායෙහි ආගමික ශාස්‌තෘන් හා ශිෂ්‍ය පිරිස්‌ සමඟ පිළිසඳරේ යෙදුණේ ඉතා නිහතමානීවමය. තම ශ්‍රාවකයන් බවට පත් වූ උපාලි හා සීහ යන දෙදෙනාට බුදුන් වදාළේ තම පැරණි ආගමික ගුරුවරුන්ට පෙර සේම එම සංග්‍රහ සත්කාර සම්මාන පවත්වාගෙන යන ලෙසයි. මේ නිසා අපට පැහැදිළි වන්නේ වෙනත් සමයං හෙළා නොදුටු නිසාත්, වෙනත් ආගමිකයන් බලහත්කාරයෙන් තම දහමට හරවා ගැනීමට උත්සාහ නොකළ නිසාත්, සියලු ආගම් කෙරෙහි විවෘත හා සුහද ආකල්පයක්‌ දැක්‌ වූ නිසාත් බුදුන් වහන්සේ සහ ධර්මය ගැන ජනප්‍රියත්වය, ප්‍රසාදය හා ගෞරවය වඩාත් වර්ධනය වූ බවයි. 
 
 කිසිදු නින්දා අපහාසයකින් නොකිපෙන, නොසැලෙන, තාදි ගුණයෙන් හා ඉවසීමෙන් යුක්‌තව කටයුතු කිරීම ද බුදුරදුන් තුළ පැවති තවත් විශේෂතාවකි. බුදුන් වහන්සේගේ ඉගැන්වීම් තුළ පැවති මානව හිතවාදී, විශ්වාන්තරවාදී ආකල්පය බුදු දහමට පමණක්‌ම ආවේණික වූ සුවිශේෂී ලක්‌ෂණයකි. බුදුන් වහන්සේ ඇතුද්‍ර බෞද්ධ සමාජය මෙත් වඩන්නේ, මෙත් සිත පතුරවන්නේ, සිංහලයාට, බෞද්ධයාට පමණක්‌ නොව සමස්‌ත මානව වර්ගයා වෙතමය. ”මා ඇතුළු සියලු සත්ත්වයෝ නිදුක්‌ වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා….” යන පරම පවිත්‍ර ෙච්තනාවෙන් යුක්‌තවය. කරණීය මෙත්ත සූත්‍රය තුළින් ප්‍රකට කරන විශ්ව ව්‍යාපීය මෙත් සිත් සහගත, අපරිමිත “චිත්ත විප්ලවය වන්නේ එම අධ්‍යාත්මික ප්‍රාර්ථනයයි. ”සබ්බේ සත්ථා භවන්තු සුතත්තා…..” යන සඳහනට අනුව සියලු සත්ත්වයෝ සැප ඇත්තෝ වෙත්වා යන්න ඇසට පෙනෙන්නා වූ ද, නොපෙනෙන්නා වූ ද සියලු තිරිසන්ගත සත්ත්ව කොට්‌ඨාශයන් මෙන්ම සමස්‌ත මානව වර්ගයාද ඊට අන්තර්ගත වෙයි. මෙහිදී ජාති, ආගම්, කුල, ගෝත්‍ර ආදී අනේකවිධ ප්‍රභේදයන්ට අනුව කිසිවිටකත් කිසිදු බෙදීමක්‌ නියෝජනය නොකරයි. 
 
 බුදුන් වහන්සේගේ දහමෙහි මෙවැනි ඉගැන්වීම් කීපයක්‌ පමණක්‌ සලකා බැලීමෙන් පැහැදිලි වන්නේ එමඟින් හෙළිවන සකල ලෝක සත්ත්වයා වෙත පතළ අනුපමේය මෙන්ම අනුත්තරීය වූ, අසමසම වූ මෛත්‍රි සහගත චින්තන දහරාවයි. අෙන්‍යාaන්‍ය වශයෙන් අපි කවුරුත් සමග කිසිදු භේදයකින් තොරව සුහදශීලීව කටයුතු කිරීමට මෙවන් උතුම් දිනක අදිටන් කර ගැනීම වැදගත්ය.

 
කොළඹ 15, බ්ලුමැන්ඩල් පාර, සිරි සරණංකර විහාරාධිපති, පෑලියගොඩ, දුටුගැමුණු මහා විද්‍යාලයේ විදුහල්පති,
 ශාස්‌ත්‍රපති පූජ්‍ය වත්තල සෝභිත හිමි
Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *