ගිවිසුම් තුනකින් සහ පනත් හයකින් දියත් වන ඇමරිකානු ආක‍්‍රමණය!

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

‘යුද්ධයෙන් පසු ශ‍්‍රී ලංකාවට අදාළ අමෙරිකානු උපාය මාර්ගය නැවත සිතියම් කිරීම’ නමින් ඇමරිකාවේ සෙනෙට් සභාවට 2009 දෙසැම්බර් 12 වැනි දා වාර්තාවක් ඉදිරිපත් විය. ශ‍්‍රී ලංකාවට අදාළව චීනය විසින් තෝරා ඇති උපාය මාර්ගයට සාපේක්ෂව ඇමරිකානු ප‍්‍රවේශයේ පවතින වැරදි එම වාර්තාව මගින් පෙන්වා දී ඇත. ඊට අනුව එම වැරදි නිවැරදි කිරීම සඳහා වන නව ප‍්‍රවේශය හඳුන්වන්නේි‘නව මහා සෙල්ලම’ හෙවත්‘New Great game’ යනුවෙනි. එම වාර්තාව මගින් චීනය විසින් ඉන්දු පැසිෆික් කලාපයේ අත්පත් කොටගෙන ඇති ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථානවල බලය හෙවත් භූදේශපාලනයේ පංගුව අතික‍්‍රමණය කිරීම සඳහා ශ‍්‍රී ලංකාව යොදා ගැනීමේ වැදගත්කම අවධාරණය කොට ඇත. ඒ අනුව තරගකාරීව මුල්‍ය උපාංග යොදා ගනිමින් ආයෝජන හා ආරක්ෂක ගිවිසුම් හරහා චීනය අභිබවා යෑමේ නව උපායමාර්ගයක් දියත් කෙරෙන බව පැහැදිලිව පෙනේ.

ආණ්ඩු පෙරළියෙන් පසුව 2015 සිට සැලසුම් කළ එම ක‍්‍රියාවලිය භෞතිකව ආරම්භ වන්නේ 2017 සිට ඇමරිකාවේ හාවර්ඞ් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධන මධ්‍යස්ථානය විසින් කරනු ලබන අධ්‍යයනයක් අනුව ඇමරිකානු රාජ්‍ය ආයතනයක් වන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය හරහා ක‍්‍රියාත්මක වන වැඩසටහනක් සඳහා ශ‍්‍රී ලංකාව තෝරාගන්නේ 2017 දීය. එම සංවර්ධන වැඩසටහන මුල්‍ය උපාංග යොදා ගනිමින් ක‍්‍රියාත්මක වන අතර එය මෙතෙක් ඇමරිකාව විසින් තම විදේශ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් වෙනත් උපාංගවලට වඩා බලවත් හා ප‍්‍රතිඵලදායක බව ඊට අදාළ පර්යේෂණ වාර්තා අනුව පැහැදිලි වේ. ඒ අනුව ඒ සඳහා 2018 අගෝස්තු 13 දින ඇමෙරිකාවේ කොන්ග‍්‍රස් සභාව අනුමැතිය ලබාදෙන අතර 2019 අපේ‍්‍රල් 25 මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආයතනය විසින් ඒ සඳහා ගිවිසුමක් ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කරනු ලැබීය.

‘කොම්පැක්ට්’ නමින් හැඳින්වෙන එම ගිවිසුමේ ප‍්‍රකාශිත අරමුණ ආර්ථික සංවර්ධනයට එරෙහිව පවතින බාධක ඉවත් කොට දුප්පත්කම නැති කිරීම ය. ඒ අනුව ආයෝජන දිරිගැන්වීම සඳහා ප‍්‍රධාන බාධක දෙකක් ඉවත් කළ යුතු බව හඳුනාගෙන ඇත. පළමුවැන්න ආයෝජන කලාප සඳහා ගමනාගමන සහ යටිතල පහසුකම් ලබාදීම වන අතර දෙවැන්න ආයෝජන සඳහා අවශ්‍ය තරම් ඉඩම් ලබාදීම ය. මෙම ආයෝජන යටතට කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා යන අංශ ත‍්‍රිත්වයම ඇතුළත්කොට ඇත. ඊට අදාළව ආයෝජන කලාප හතරක් යෝජනා කොට ඇති අතර විශාලතම කලාපය වන්නේ ත‍්‍රිකුණාමලේ සිට කොළඹ වරාය සහ කටුනායක ගුවන්තොටුපළ දක්වා කිලෝමීටර් 200 දක්වා දිවෙන අක්කර ලක්ෂ 12 අයත් වන කලාපයයි. සෙසු කලාපය හම්බන්තොට, ඕලූවිල් හා කිලිනොච්චිය අශ‍්‍රිතව සැලසුම්කොට ඇත. කෙසේ වෙතත් දුප්පත්කම නැති කිරීම සඳහා යෝජනා කෙරෙන මෙම ප‍්‍රධාන ආයෝජන කලාපය අයත් වන දිස්ත‍්‍රික්ක 8න් දිස්ත‍්‍රික්ක 5ක දුප්පත්කම රටේ දුප්පත්කම මැනීමේ ජාතික දර්ශකය වන 4.1 ට වඩා අඩු මට්ටමක පවතී. ඒ අනුව පෙනී යන්නේ මෙම ආයෝජන කලාපය තෝරාගන්නේ දුප්පත්කම නැති කිරීමේ අරමුණට වඩා වෙනස් අරමුණක් සඳහා බවය.

එම අරමුණ කුමක්දැයි පැහැදිලි වන්නේ 2017 දී ඇමෙරිකාව සමඟ අත්සන් කළ ප‍්‍රවේශය හා හරස් සේවා ගිවිසුම් හෙවත් ACSA  ගිවිසුම තුළ අඩංගු වන දේ ගැඹුරින් හැදෑරීමේදීය. එම ගිවිසුම 2007 දී ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අස්සන් කළ ගිවිසුම නැවත දීර්ඝ කිරීමක් ලෙස අර්ථකතනය කිරීමේ උත්සාහයක් දක්නට ඇත. නමුත් පිටු 8 කින් සමන්විත මුල් ගිවිසුම එකිනෙකාගේ අවසරය මත වරායවල් සහ ගුවන්තොටුපොළවල් සේවා සැපයීම සඳහා වූ යම් සරල ප‍්‍රතිපාදන ප‍්‍රමාණයකින් සමන්විත වේ. ටයිම්ස් පුවත්පත විසින් ප‍්‍රසිද්ධ කළ කරුණු අනුව දීර්ඝ කළා යැයි කියන ගිවිසුමට පිටු 83 ක් අයත් වන අතර මුල් ගිවිසුමේ නොතිබූ ඇමුණුම් 50 ක් අඩංගුවේ. ඒ අනුව එම ගිවිසුම් දෙක අතර බරපතළ වෙනසක් තිබෙන බව සාමාන්‍ය දැනුම සහිත ඕනෑම පුද්ගලයකුට පැහැදිලි වේ.

ඒ වෙනස්කම් ඉතා බරපතළ වන අතර පළමු ගිවිසුම වසර 10කට වලංගු වූ අතර නව ගිවිසුම අනන්තය දක්වා වලංගු වේ. ඊට අනුව ඇමරිකාව විසින් හදිසි තත්ත්වයක් යැයි තීරණය කරනු ලබන ඕනෑම මොහොතක 50 කට අධික විශේෂිතව නම් කරන ලද ඇමරිකානු හමුදාවේ විවිධ බලඇණි සහ අනු ඛණ්ඩවලට ශ‍්‍රී ලංකාවේ වරායවල් සහ ගුවන්තොටුපළවලට ගොඩ බැසිය හැක. එම හමුදාවන් විසින් භාවිතා කරන නාවික හා ගුවන් යානාවලට ඉන්ධන සහ සෙසු ඒවා සියල්ල සපයා ගැනීමේ බලය එම හමුදාවලට ලැබේ. එම හමුදා ගුවනෙන්, මුහුදෙන් හෝ මහා මාර්ග මගින් රට තුළ ගමන් කළ හැකි අතර කඳවුරු බැඳීමේ බලය ද අදාළ ගිවිසුම මගින් ලබාදී ඇත.

එම ගිවිසුම යටතේ දැනටමත් ශ‍්‍රී ලංකාව නම් වූ රට ඇමරිකාවේ බලවත්ම හමුදා බලඇණියක් වන ‘ඉන්දු පැසිෆික් කොමාන්ඞ්’ හමුදාවේ සැපයුම් කේන්ද්‍රය බවට නම් කොට ඇත. ඒ අනුව දකුණු චීන මුහුදේ සිට අරාබි මුහුද දක්වා වන ලෝකයේ භූමියෙන් 50% ක් ආවරණය කෙරෙන මහා මුහුදු කලාපයේ සියලූ හමුදාමය කටයුතුවලට අවශ්‍ය ආයුධ නොවන සෙසු පහසුකම් සියල්ල ලබා දෙන මධ්‍යස්ථානය බවට ශ‍්‍රී ලංකාව පත්වනු ඇත. ඊට පහසුකම් සැලසීම සඳහා ‘ජෝන් සී ස්ටෙනිස්’ නමින් හඳුන්වන ඇමෙරිකාව සතු විශාලතම ගුවන් යානා රඳවන යුද නෞකාව ත‍්‍රීකුණාමල ධීවර වරායෙන් පිටත නවතා ඇත. එම නෞකාවේ ප‍්‍රහාරක යුද ගුවන් යානා 100 නවතා ඇති අතර සෙබළු පන්සියයක් සඳහා එහි නවාතැන් පහසුකම් ඇත. ඒ අනුව එම ආරක්ෂක ගිවිසුමේ මූලික අරමුණ ඉහත සඳහන් කළ පරිදි චීනයට එරෙහි ප‍්‍රති උපායමාර්ගය ලෙස ඇමෙරිකානු හමුදාව ශ‍්‍රී ලංකාව තුළ භෞතිකව ස්ථානගත කිරීම බව ඉතා පැහැදිලිව තේරුම් ගත හැක.

එසේ ACSA  නමින් හැඳින්වෙන එම බලවත් සහ ප‍්‍රධාන ආරක්ෂක ගිවිසුමට අමතරව දෙවනුව අත්සන් කිරීමට නියමිත හෝ දැනටමත් අත්සන් කොට ඇති SOFA හෙවත් ‘හමුදාවේ තත්ත්වය’ ලෙස හැඳින්වෙන ගිවිසුම අනුව පළමු ගිවිසුමේ අරමුණ ලෙස ඉතා හොඳින් තහවුරු වෙයි. එම දෙවන ගිවිසුම මීට පෙර චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියගේ සමයේ දී 1995 දී අත්සන් කළ මූලික ගිවිසුමක දිගුවකි. එම ගිවිසුම් පාර්ශව දෙකක් අතර අත්සන් කෙරෙන සාමාන්‍ය ගිවිසුමකට වඩා එක් පාර්ශ්වයක් විසින් කරනු ලබන ඉල්ලීම් අනෙක් පාර්ශ්වය විසින් බාර ගැනීම මගින් ඇති කරගන්නා ගිවිසුමකි. ඒ අනුව 1995 දී ශ‍්‍රී ලංකාවේ හමුදාව පුහුණු කිරීම සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු හමුදා නිලධාරීන් පිරිසකට තානාපති මුක්තිය ලබා දීම සඳහා යොදාගත් ගිවිසුමට (බී) ඇමුණුම් යනුවෙන් කොටස් එකතු කිරීමට ඇමරිකාව විසින් ශ‍්‍රී ලංකාවට යෝජනා කොට ඇත. විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් එම ඉල්ලීම් භාරගත් බවට ලිපියක් යැවූ සැනින් අදාළ ගිවිසුම බලාත්මක වේ.

කෙසේ වෙතත් විදේශ අමාත්‍යවරයා මෑතකදී ඇමරිකාවට සැපත්වූ අවස්ථාවේදී SOFA ගිවිසුම අත්සන් නොකළ බව පැවසීම ඇත්තක් විය හැක. ඊට හේතුව ඉහත සඳහන් කළ ආකාරයට අදාළ ගිවිසුම බලාත්මක කිරීම සඳහා අමාත්‍යවරයා සහ ඇමරිකානු නිලධාරීන් එකට අසුන්ගෙන අත්සන් කිරීමේ උත්සවයක් පැවැත්වීමට අවශ්‍ය නොවීම ය. එම ගිවිසුමට අනුව ඇමරිකාවේ ඕනෑම හමුදාවක නිලධාරීන්ට ශ‍්‍රී ලංකාවේ ඕනෑම ප‍්‍රදේශයක ආයුධ සන්නද්ධව සහ නිල ඇඳුම් සහිතව
ගමන් කළ හැක. ඊට අමතරව ඔවුන් රටට ඇතුළු වන සහ පිටවන තොටුපොළවලදී ඔවුන් පරීක්ෂා කිරීමට හෝ ඔවුන් ගෙන එන සහ ගෙනයන භාණ්ඩවලට බදු පැනවීමට ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුවට බලයක් නැත. එසේම එම හමුදා නිලධාරීන් ශ‍්‍රී ලංකාව තුළ දී අපරාධ වරදකට වැරදිකරුවන් වුවහොත් ශ‍්‍රී ලංකාවේ නීතිය යටතේ ඔවුනට දඬුවම් කළ නොහැකි අතර ඔවුන් ඇමෙරිකානු තානාපති අංශවලට බාර දීමට ශ‍්‍රී ලංකා ආණ්ඩුව බැඳී සිටී.

මෙම සියලූ තානාපති වරප‍්‍රසාද හෙවත් මුක්තිය ඇමරිකානු හමුදාවේ කොන්ත‍්‍රාත්කරුවන්ට සහ ඔවුන්ගේ සේවකයන්ට ද හිමිවේ. ඒ අනුව මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් අනුව දියත්වන ආයෝජන ව්‍යාපෘති සඳහා පැමිණෙන අමෙරිකානු සමාගම්වල සේවකයන්ට ද තානාපති මුක්තිය ලැබිය හැක. කෙසේ වෙතත් ACSA  සහ SOFA යන ගිවිසුම් දෙක එකම අරමුණක් සඳහා එකට ක‍්‍රියාත්මක කෙරෙන බව ඉතා පැහැදිලි ව පෙනේ. ඒ අරමුණ මහා පරිමාණයෙන් ඇමරිකානු හමුදාව ශ‍්‍රී ලංකාව තුළ ක‍්‍රියාත්මක වීම බවට ප‍්‍රබල සාක්ෂි එම ගිවිසුම් තුළම අන්තර්ගත වේ. දැන් ඒ හමුදාවට නීතිසේවා සැපයීම සඳහා ඇමෙරිකාවේ බලවත් නීතිඥ සංගමය විසින් තම ශාඛාවක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීමට ද ඉල්ලූම් කොට ඇත.

ඒ අනුව එම අරමුණ ජපානයේ හෝ දකුණු කොරියාවේ පිහිටුවා ඇති ඇමරිකානු හමුදා කඳවුරු වලින් ඉටුකර ගන්නා අරමුණුවලට වඩා බලවත් බවට ද සැකයක් නැත. එය හුදු කඳවුරක් පිහිටුවීම ඉක්මවා යන අරමුණුක් හෙවත් සමස්ත රටම ඇමරිකානු හමුදාවට භාණ්ඩ සහ සේවා සපයන සැපයුම් කේන්ද්‍රයක් සහ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ අරමුණක් බව දැන් ඉතා පැහැදිලි වේ. දැන් මිලේනියම් චැලේන්ජ් හෙවත් ආයෝජන ප‍්‍රවර්ධන ගිවිසුම හෙවත් ශ‍්‍රී ලංකාවේ දුප්පත්කම නැතිකිරීම සඳහා වන ගිවිසුම අධ්‍යයනය කළ යුත්තේ ඒ මහා පින්තූරය තුළය. ශ‍්‍රී ලංකාව ඇමරිකානු හමුදාවේ මෙහෙයුම් සහ සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට නම් ඊට අදාළ භාණ්ඩ සහ සේවා සැපයීම සඳහා ආයෝජන ප‍්‍රවර්ධනය කළ යුතු බව කුඩා දරුවකුට වුවද තේරුම් ගත හැක.

එනම් ඇමරිකන් හමුදාවට අවශ්‍ය වතුර බෝතලේ සිට ආහාර, ඉංජිනේරු සැපයුම්, වරාය සේවා ප‍්‍රවාහන සේවා ඇතුළු හමුදාවට නවාතැන් සහ විනෝදය සැපයීමේ සේවා දක්වා පුළුල් පරාසයක විදේශ ආයෝජන දිරිමත් කිරීම අවශ්‍ය වේ. ඒ සඳහා ගමනාගමන පහසුකම් මෙන්ම සීමාවකින් තොරව පහසුවෙන් ඉඩම් ලබාදීමේ හැකියාව ද පූර්ව කොන්දේසි බවට පත්වේ. හමුදාවට කෙසෙල් හෝ අන්නාසි වැවීම සඳහා පමණක් අක්කර ලක්ෂ ගණනක් අවශ්‍ය වේ. ත‍්‍රිකුණමලයේ සිට කොළඹ දක්වා දිවෙන ආයෝජන කලාපයට අක්කර ලක්ෂ 12ක් අයත් වන්නේ ඒ නිසාය. එම ඉඩම් ගොවීන්ගෙන් සහ ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත්වන ජනතාවගෙන් මෙන්ම රජයෙන් ද ලබා ගත යුතුය. ශ‍්‍රී ලංකාව තුළ ඊට එරෙහිව බරපතළ ආයතනමය සහ නීතිමය බාධක රාශියක් ඇත. මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් මගින් ජනතාවගේ ඉඩම් අයිතිය මෙන්ම රජය විසින් එම අයිතිය කළමනාකරණ කරන ආකාරය ද කනපිට පෙරළෙන ආකාරයේ ඉඩම් ප‍්‍රතිසංස්කරණ යෝජනා වන්නේ ඒ නිසාය. ඊට අමතරව එම ආයෝජන කලාපය තුළ ත‍්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා විදේශීය ආයෝජකයින් විසින් ඉදි කරන රේල් පාර සහ ඒ දෙපස ඉදිවන ආරක්ෂක විදුලි වැට මගින් රට කොටස් දෙකකට භෞතිකව වෙන්කිරීම ද සිදුවේ.

එම ක‍්‍රියාවලිය තුළ ඉඩම් බැංකු පනත නමින් නව නීතියක් සහ තවත් ඉඩම් පනත් 3 ක් සංශෝධනය කිරීමට අදාළ ගිවිසුම් මගින් ප‍්‍රතිපාදන සලසා ඇත. ඊට අමතරව මහා පරිමාණ ඉඩම්වල වැවිලි කර්මාන්තය සඳහා කෘෂිකාර්මික කම්කරුවන් වහල් සේවයේ යෙදවීම සඳහා නව කම්කරු නීතියක් ද යෝජනා කොට ඇත. එසේම මහා පරිමාණ විදේශීය සමාගම්වලට රට තුළට පැමිණ ව්‍යාපාර කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා විදේශ විනිමය පාලන පනත සංශෝධනය කිරීමට ද අවශ්‍ය වේ. ඒ අනුව නව විදේශ විනිමය පනත දැනටමත් සම්මත කොට ඇත. එම පනත අනුව දේපල සහ ඉඩම් විකිණීමේ යෙදෙන සමාගම්වලට රට තුළ විදේශ විනිමය ගිණුම් පවත්වාගෙන යෑමට මෙන්ම රට තුළ සහ පිටත නිදහසේ විදේශ විනිමය රැගෙන යෑමට ප‍්‍රතිපාදන සලසා ඇත.

ඉඩම් නීති අතුරින් පළමුවැන්න ඉඩම් බැංකු පනත වන අතර ඒ මගින් රජයේ හිස් ඉඩම් මෙන්ම ඌන භාවිත ඉඩම්, ඉඩම් බැංකුවක් යටතට පවරාගෙන ආයෝජකයින්ගේ ඉල්ලීම් මත විකිණීමට හෝ අවුරුදු 200 දක්වා බදු දීමට ප‍්‍රතිපාදන සලසා ඇත. එදා බණ්ඩාරනායක මැතිනිය ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසම යටතට පත් කළ විදේශිකයන්ගෙන් රජයට පවරා ගත් ඉඩම් ද එසේ නැවත විදේශිකයන්ට පැවරීම සඳහා ඉඩම් බැංකුව යටතට පත් කෙරෙයි. ඒ සඳහා ඉඩම් ප‍්‍රතිසංස්කරණ පනත ද සංශෝධනය කිරීමට යෝජනා කොට ඇත. තුන්වන ඉඩම් පනත ඉඩම් විශේෂ විධිවිධාන පනත වේ. ඒ මගින් රජයේ බලපත‍්‍ර මත ගොවීන්ට ලබා දී ඇති ඉඩම්වලට වෙළඳපළේ විකිණිය හැකි ඔප්පු ලබාදීම සිදුවේ. එවිට එම ඉඩම් විකුණා දැමීමට ගොවීන් පෙළඹවිය හැකි වේ. විදේශ විනිමය පනත මගින් ඉඩම් බ්‍රෝකර්ලාට විශේෂයෙන් සලකන්නේ කුමක් නිසාද? ඒ කුඩා ඉඩම් මිලදී ගෙන එකතු කොට මහා පරිමාණ ඉඩම් බවට පත් කොට මහා සමාගම්වලට විකිණීම දිරිගැන්වීම සඳහා බවට සැකයක් නැත.

සංශෝධනයට ලක් වන හතර වන ඉඩම් පනත ඉඩම් අයිතිය සීමා කිරීමේ පනතයි. එමගින් දැනට අක්කර 50 ට සීමා කොට ඇති ඉඩම් අයිතිය සීමාරහිත බවට පත් කෙරේ. කුඩා ඉඩම් එකතු කොට මහා ඉඩම් බිහිකිරීම සඳහා එම ප‍්‍රතිපාදන අවශ්‍ය වේ. ආයෝජන කලාප සඳහා විශේෂ කම්කරු නීතියක් සම්පාදනය කිරීම අවශ්‍ය වන්නේ එම මහා ඉඩම්වල කුලියට වැඩ කිරීම සඳහා කොන්ත‍්‍රාත් පදනමින් කම්කරුවන් අඩු මිලට ලබා ගැනීම සඳහා බව පැහැදිලිය. එම ක‍්‍රියාවලිය තුළ ගොවියාට ඉඩම් අයිතිය පමණක් නොව පොදු මහජනයාගේ ජල අයිතිය ද අහෝසි වනු ඇත. විශේෂයෙන්ම කිසිදු රාජ්‍යය භාගයක් නොගෙවා ජලය මහා පරිමාණයෙන් අපනයනය කිරීමේ අවස්ථාව ද ඇමෙරිකානු සමාගම්වලට ලැබෙනු ඇත.

ඒ ආකාරයට සමස්ත රටම ඇමරිකානු උවමනාවන්ට අනුව කනපිට පෙරළීම ඒ සඳහා සැලසුම් සකස් කරන තරමටම පහසු නැති බව සැලසුම් සකස් කරන්නෝ ඉතා හොඳින් දනිති. ඒ සඳහා ජන මනස සූදානම් කිරීමේ ක‍්‍රියාවලිය මෙම සැලසුම්කරුවන් විසින් හඳුන්වන්නේ ‘අති කම්පන ප‍්‍රතිකාරය’ හෙවත් shock treatment ලෙසය. ඊට අදාළ න්‍යාය හැඳින්වෙන්නේ ‘අති කම්පන න්‍යාය” හෙවත් The Shock Doctrin එම සමස්ත ක‍්‍රියාවලිය දේශපාලන තාක්ෂණික වචනවලින් හැඳින්වෙන්නේ ආපදා අධිරාජ්‍යවාදය හෙවත් Disaster Imperilism වශයෙනි. උදාහරණයක් ලෙස සුනාමිය ආපදා අවස්ථාවේදී ඇමෙරිකාව ශ‍්‍රී ලංකාවට උදව් කිරීමේ මුවාවෙන් පැමිණියේ බෙදුම්වාදීන්ට සුනාමි සහන මණ්ඩලය ලබා දී දෙවන මහා සුනාමිය ඇති කිරීමටය. ඒ අනුව ඉස්ලාම් මූලධර්මවාදී සුනාමිය තම වාසියට හරවා ගැනීම මගින් ආපදා අධිරාජ්‍යවාදී මානසික මෙහෙයුම දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

දැනටමත් ශ‍්‍රී ලංකාව අයි.එස්. සංවිධානයේ ගොදුරක් බවට පත්වී ඇති බැවින් විදේශීය සහාය අවශ්‍ය බවට විවිධ පාර්ශ්ව අදහස් පළ කරති. ඒ අනුව තවත් මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල වුවහොත් හෝ මහා පරිමාණ ජාතිවාදී ගැටුම් ඇවිලවීමට යම් පාර්ශව සමත් වුවහොත් ජනතාවගේ ආරක්ෂාව නාමයෙන් ඇමරිකන් හමුදාවට රට තුළට එන ලෙසට ආරාධනා කිරීමට බොහෝ පිරිස් බලා සිටින බව රහසක් නොවේ. ශ‍්‍රී ලංකාවේ ඉස්ලාම් මූලධර්මවාදයට මධ්‍යස්ථ මුස්ලිම් දේශපාලකයින් යටත් වීම තුළින් පෙන්නුම් කෙරෙන්නේ ගතවන සෑම දිනකම ඉස්ලාම් අන්තවාදීන් මෙන්ම ඔවුන්ට එරෙහිව රස්තියාදුකාර භාෂාවෙන් හෙවත් මොළයෙන් වෙනුවට ඇෙඟන් පිළිතුරු දෙන පිරිස් දිනපතා රට පුරා පෙට්ට‍්‍රල් හලන බවය. ඒ තුළ අධිරාජ්‍යවාදීන්ට සුදුසු අවස්ථාවේදී ගිනිකූර ගසා බිම දැමීමේ වාසිදායක හැකියාව ලැබී ඇත. එම නිසා ඇමරිකානු ගිවිසුම් ත‍්‍රිත්වය සහ ඉස්ලාම් මූලධර්මවාදී ත‍්‍රස්තවාදය අතර පවතින බැඳීම් තේරුම් ගැනීම ගිවිසුම්වල අරමුණු තේරුම් ගැනීම තරමටම වැදගත් වේ.

වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර 

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *