කැබිනට්ටුවේදී රිෂාඞ්ගෙන් සංවේදී කතාවක්: කී දේ නාහන ආණ්ඩුවට කතෝලික සභාවෙන් නඩු: සතියේ රජ රහස්

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

ආන්දෝලනාත්මක පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිමවී පසුගිය 21 වන අඟහරුවාදාට මාසයකුත් ගෙවී අවසන් විය. ඒ අතර ගෙවී ගිය කාලය තුළ අපේක්ෂා නොකළ බොහෝ දේ සිදුව තිබුණි. එහෙත් එම සිදුවීම්ත් සමඟම බොහෝ දෙනා අපේක්ෂා කළ සහ විය යුතු තවත් බොහෝ දේ රට තුළ සිදු නොවීම නිසා පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් අගතියට පත් කතෝලික ජනතාවත් එම සිදුවීම් මාලාව නිසා මහත් විස්සෝපයට හා කුතුහලයට පත් රටේ බහුතර සිංහල බෞද්ධ ජනතාවත් අන්තවාදීන්ගේ ක‍්‍රියාකලාපයන් හරහා රට තුළ පීඩනයටත් භීතියටත් පත්ව සිටින අහිංසක සාමාන්‍ය මුස්ලිම් ජනතාවත් මේ සියල්ල දෙස සාවධානව බලා සිටින දෙමළ ප‍්‍රජාවත් සමස්ත ලංකාවාසී රටේ ජනතාවත් බලවත් සේ අපේක්ෂා භංගත්වයට පත්ව සිටියා යැයි කිවහොත් ඒ පිළිබඳ තර්කයක් නැත… විවාදයක් නැත.
 
 ජනතාව මෙහිදී අපේක්ෂා කළ බොහෝ දේවල් තිබුණි. පළමුව…. මුස්ලිම් අන්තවාදයෙන් පෝෂණය වූ සියලූ ත‍්‍රස්තවාදී කල්ලි කණ්ඩායම් වහා ක‍්‍රියාත්මක වී අත්අඩංගුවට ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කළහ… පොලිසියේ හා ආරක්ෂක හමුදාවන්හි බුද්ධි අංශ ප‍්‍රධාන ආරක්ෂක සේවාවන් ඒ කටයුත්ත අකුරටම ඉටු කර සිටියහ. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක‍්‍රියාත්මක කරමින් හා ඔවුන්ගෙන් ලබා ගන්නා ලද තොරතුරු ඔස්සේ දිගින් දිගටම පරීක්ෂණ කටයුතු සිදුකරමින් අපරාධකරුවන් නීතියේ රැහැනට කොටු කර ගනිමින් මෙම ත‍්‍රස්තවාදය මුලිනුපුටා දමන්නට රජය කඩිනම් ක‍්‍රියාමාර්ග ගනු ඇතැයි ජනතාව අපේක්ෂා කළහ…. නීතියේ වැඩකටයුතු කෙසේ වුවත් පරීක්ෂණ කටයුතු නම් දවසින් දවස වේගවත්ව හා විධිමත් ව ඉදිරියට යමින් පවතින බව පැහැදිලිව දැකගත හැකි විය. එහෙත් පරීක්ෂණ කටයුතු තවදුරටත් ඉදිරියට කරගෙන යෑමට නම් මෙම ත‍්‍රස්තවාදී කල්ලි කණ්ඩායම්වලට අන්තවාදී ව්‍යාපාර ලෙස වර්ධනය වීමට උදව් උපකාර කළ දේශපාලනඥයෝ හා ආධාර අනුබල දුන් දේශපාලනඥයෝ කවුදැයි කියා හෙළිදරව් කර ගැනීමට අවශ්‍ය විය. පරීක්ෂණ කටයුතු පිළිබඳ රටේ ජනතාව විචිකිච්ඡුාවෙන් බලන්නට වූයේ එතැන් සිටය…
 
 පාස්කු ප‍්‍රහාරය සිද්ධ වූ දා පටන්ම සමාජය මුස්ලිම් ත‍්‍රස්තවාදයට උඩගෙඩි දීම සම්බන්ධයෙන් අන්තවාදී අදහස් දරන මුස්ලිම් දේශපාලනඥයන් කිහිප දෙනෙකු කෙරෙහි සැකයෙන් බලන්නට පටන් ගෙන සිටියහ… විශේෂයෙන්ම අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඒ. එම්. හිස්බුල්ලා, බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්, මුස්ලිම් කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් ඇතුළු දේශපාලනඥයින් ගණනාවක් කෙරෙහි රටේ මහජනතාව මෙසේ සැක සංකා සහිත ව බලන්නට හේතු ද ගණනාවකි. 
 
 මේ රටේ අයි. එස්. අයි. එස්. සංවිධානයට සෘජුව හා වක‍්‍රව සම්බන්ධතා ඇති අන්තවාදී සංවිධාන හා කල්ලි කණ්ඩායම් ලංකාවේ ඉස්මතු වෙමින් ව්‍යාප්ත වෙමින් වහාබ් වාදය තුළ අන්තවාදී කල්ලි ලෙස කටයුතු කරන බවට යම් යම් පුද්ගලයින් විසින් හා බුද්ධි අංශ විසින් මීට පෙර කීප විටක්ම තොරතුරු වාර්තා කර තිබිණි. ඒ සෑම අවස්ථාවකම මෙම දේශපාලනඥයන් ඒවාට පිළිතුරු දුන්නේ කොරහක කිඹුලන් දකින්නට එපා යැයි කියමින් එම අදහස් හාස්‍යයට ලක් කරමිනි.
 
 පාස්කු ප‍්‍රහාරය සිදු වූ මුල් අවස්ථාවේදීත් මෙකී දේශපාලනඥයන් පරණ පුරුදු පිළිවෙත අනුගමනය කරමින් ඉහත කී අන්තවාදී කල්ලි කණ්ඩායම් වෙනුවෙන් සටන් කරන්නට පටන් ගත්තත් කොළඹ දෙමටගොඩ සුප‍්‍රකට ව්‍යාපාරික ඊබ‍්‍රාහීම් වැනියවුන් නීතියේ රැහැනට හසු වීමත් සමගම ඔවුන්ගේ පිළිවෙත් හි පැහැදිලි පරිවර්තනයක් ඇති විය…. වහාබ්වාදී කල්ලි කණ්ඩායම්වලට තම තමන්ගේ ඇති සම්බන්ධකම් පිළිබඳ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට පටන්ගත් මෙම දේශපාලනඥයෝ ඊළඟට සූදානම් වූයේ වහාබ්වාදී කල්ලි කණ්ඩායම් මේ රටේ ආරම්භ කරන්නට හා පවත්වාගෙන යන්නට මුල් වූයේ රාජපක්ෂවරු බව ඔප්පු කරන්නට ය….
 
 මේ අයුරින් දේශපාලකයන් බෝල පාස් කර ගනිමින් සිටියදී පරීක්ෂණ නිසි පරිදි ඉදිරියට යන බවක් නොදුටු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමන් පාස්කු ප‍්‍රහාරයෙන් ගත වූ දෙවැනි සතිය තුළදී ආණ්ඩුවට අනතුරු ඇඟවීමක් පවා කරනු ලැබුවේය…
 
 උන්වහන්සේ පැවසුවේ රජය මෙම කාර්යභාරයේ වගකීම් හරි හැටි භාරගෙන යුක්තිය ඉටු කරන්නට ක‍්‍රියා නොකරන්නේ නම් ජනතාවට පාරට බැස යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් සටන් වදින්නට සිදුවනු ඇති බවය. උන්වහන්සේ තවත් දෙයක් ඉතා පැහැදිලිව කීවේය. ත‍්‍රස්තවාදයට එරෙහිව ක‍්‍රියා කිරීමට නීති නැතැයි පවසමින් අලූත් නීති රීති හදන්නට කාලය වැය නොකර, නීතිය ක‍්‍රියාත්මක කර ඉතා ඉක්මනින් යුක්තිය ඉටු කරන්නට රජය වග බලා ගත යුතු බව උන්වහන්සේ කීවේය. එසේ වෙනත් න්‍යාය පත‍්‍රවලට අනුව වැඩ කළහොත් රටට අනවශ්‍ය සංවාදවලට හා සටන්වලට මුහුණ දෙන්නට සිදුවීම උන්වහන්සේ දුටුවේ අනර්ථයක් ලෙසය. 
 
 කාදිනල්තුමා කුමක් කීවත් රජය ඒ කිසිවක් සැලකිල්ලට ගත්තේ නැත… මෙම සිදුවීම්වලට වගකිවයුතු යැයි හැෙඟන මැති ඇමැතිවරු නීතියේ රැහැනට කොටුකර අඩුම තරමින් ඔවුන් ගෙන ප‍්‍රශ්න කර ඉදිරි පරීක්ෂණ වේගවත් කරන්නට වැඩපිළිවෙළක් උන්වහන්සේලා බලාපොරොත්තු වුවත් රජය ඒ කිසිදු අයෙකුගෙන් කට උත්තරයක්වත් ලබා ගන්නට කටයුතු කළේ නැත. මේ සම්බන්ධයෙන් මුළු මහත් කතෝලික ජනතාවම යම් කලකිරීමකට පත්ව සිටියා යයි කිවහොත් නිවැරදිය… 
 
 කී දේ නාහන ආණ්ඩුවට 
 කතෝලික සභාවෙන් නඩු..

 
 අවසාන වශයෙන් පසුගිය සතිය වන විට කතෝලික සභාව තීන්දුවක් ගත්තේය. කතෝලික ජනතාවට හා රටට සිද්ධ වූ මහා විනාශයට වගකිවයුත්තන් සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු නොකළේ ය යන චෝදනාව මත රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්නට ද අවසානයේ කාදිනල් තුමන් ඇතුළු කතෝලික සභාව තීරණය කරන්නේ ඉන් පසුවය.
 
 සමාජීය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, නීතිඥ ගරු අශෝක් ස්ටීවන් පියතුමා, ගරු ෂෙරාඞ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා යන පියතුමන්ගේ මූලිකත්වයෙන් මෙම මූලික මිනිස් අයිතිවාසිකම් නඩුව 
 
 ගොනුකර ඇති අතර මෙයින් ආරක්ෂාව සම්බන්ධව වගකීම් පැහැර හරින ලද රජයේ මැති ඇමරතිවරු සහ ආරක්ෂක අංශ ප‍්‍රධානීන් ඇතුළු 13 දෙනෙකු වග උත්තරකරුවන් කර ඇත.
 
 කතෝලික සභාව රජයට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනු කරන්නට තීරණය කරන අතර ඒකාබද්ධ විපක්ෂය මෙම සිදුවීම් මාලාවට එරෙහි සටනට මූලික කේන්ද්‍රයක් තෝරා ගත්තේය… ඒකාබද්ධ විපක්ෂය මෙම සිදුවීම් මාලාව සම්බන්ධයෙන් පුරෝගාමියා ලෙස අර්ථ නිරූපනය කළේ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්වය. මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තවාදීන්ට ආධාර අනුබල සැපයීම, අමාත්‍යාංශයේ සම්පත් හා වරප‍්‍රසාද මුල් කරගත් කරගනිමින් ත‍්‍රස්තවාදයට සම්බන්ධ යම් යම් පුද්ගලයන්ට අනුග‍්‍රහය සැපයීම, අන්තවාදීන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටීම හා යුද හමුදාපතිවරයා ඇතුළු ආරක්ෂක අංශවලට අමාත්‍ය වරප‍්‍රසාද යොදාගෙන බලපෑම් ඇති කිරීම යන කාරණා මත විශ්වාසභංගයක් ගෙන එන්නට ඒකාබද්ධ විපක්ෂය සැලසුම් කරන්නට පටන් ගත්තේය. විශ්වාස භංගය කෙටුම්පත් කිරීම නීතිඥ උදය ගම්මන්පිල මහතා භාර ගත් අතර ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලූත්ගමගේ, ෂෙහාන් සේමසිංහ, කංචන විජේසේකර ඇතුළු කණ්ඩායමකට මෙම විශ්වාසභංගය ඉදිරියට ගෙනයෑමේ වගකීම ඒකාබද්ධ විපක්ෂය විසින් භාරදෙනු ලැබූහ…
 
 මසක් තුළ මේ සියල්ල මෙසේ ක‍්‍රමානුකූලව සිදුවෙමින් පැවැති අතරවාරයේ සමාජය බොහෝ හැලහැප්පීම්වලට බඳුන් විය. පාසල්වල ආරක්ෂාව නැතැයි කියමින් ළමුන් පාසල්වලට එවීම දෙමාපියෝ ප‍්‍රතික්ෂේප කළහ. රජයේ මුස්ලිම් දේශපාලනඥයන්ට එරෙහිව නීතිය හරිහැටි ක‍්‍රියාවේ යෙදවීම පැහැර හළ නිසා ජනතාව තීන්දුවක් ගෙන මුස්ලිම් වෙළෙඳසල් වර්ජනය කරන්නට පටන් ගත්හ. කලකෝලාහලයක් දක්වා මෙම තත්ත්වය වර්ධනය වන්නට විය. සැකය හා බිය සමාජය තුළ ඉහ වහා යන්නට විය. මේ අතර නොයෙකුත් අන්දමේ කටකතා ද සමාජයේ පැතිර ගියේය….
 
 ජනමාධ්‍ය භාවිතය හා සමාජ හැසිරීම් පිළිබඳ හොඳ අවබෝධයක් ඇති දේශපාලනඥයකු වන මංගල සමරවීර ද මේ අතර අමුතු කතාවක් සමාජගත කළේය… ඔහු සමාජ සංවාදයට ඉතා සංවේදී කාරණාවක් කීවේය. බුදුදහම මේ රටේ ප‍්‍රමුඛම දහම නොවේ යැයි කියමින් කී එම කතාවත් සමඟම සමාජ කතිකාව සම්පූර්ණයෙන්ම පරිවර්තනය විය. මුළු මහත් සමාජයම මංගලගේ එම ආන්දෝලනාත්මක ප‍්‍රකාශය පසුපස අවි අමෝරාගෙන ලූහුබැඳ එන්නට පටන් ගත්හ. ඒ අතර මංගල තවත් විදියකින් එම කතාවම සමාජගත කළේය. ජනතාව නැවත ඒ පැත්තට හඹා යන්නට පටන් ගත්හ. මේ ආකාරයෙන් සමාජ මාධ්‍ය හා අනෙකුත් මාධ්‍ය යොදාගෙන සමාජ කතිකාව විටින් විට වෙනස් කිරීමට රජය උපායශීලීව කටයුතු කරන අන්දම පසුගිය සති කිහිපය තුළ අපට දැකගත හැකි විය. 
 
 වෙසක් උත්සවය පැමිණියේ මේ කලබලකාරී අවස්ථාවේ වියළී පැළි වළං පැළී ගිය මහ පොළවකට ඇදහැලෙන මහා ධාරාණිපාත වර්ෂාවක් ලෙසය. 
 
 බහුතර සිංහල බෞද්ධ ජන සමාජය, කතෝලික සමාජය හා මුස්ලිම් ජන සමාජය එක්ව මෙවර වෙසක් සමරන්නට එකාවන්ව පාරට බැස කටයුතු කරන්නට පටන් ගැනීම තුළ පසුගිය දිනවල සමාජයේ ඇතිව තිබූ බොහෝ අසහනකාරී උණුසුම් තත්ත්වයන් සමනය වන්නට පටන් ගත්තේය. 
 
 ජනාධිපතිගෙන් හිමිනමක් 
 බලහත්කාරයෙන් ඉල්ලූ දේ…

 
 කා අතරත් කතාබහට තුඩුදුන් විදේශීය සංචාරය නිම කර ලංකාවට පැමිණි ජනාධිපතිවරයා විශේෂ කරුණු කාරණා  ගණනාවක් පිළිබඳ අවධානය යොමු කර සිටියේ වෙසක් උත්සවය අවස්ථාවේ සැලසුම් කරගෙන සිටි වැඩකටයුතු රාශියක් මැද ය… ජනාධිපති පොදු සමාව ලබාදී හිරකරුවන් විශාල පිරිසක් සඳහා නිදහස ලබා දීමේ කටයුත්ත ද මේ අතර ප‍්‍රමුඛස්ථානයක් ගත්තේය… 
 
 මේ අතර විශේෂ ආගමික වූත් උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා ගාල්ල බලා පිටත්ව ගියේය… ඉන් පළමුවැන්න ඓතිහාසික සීනිගම ශ‍්‍රී දෙවොල් මහා විහාරයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීමයි. දෙවැන්න රාජ්‍ය අනුග‍්‍රහය සහිතව තොටගමුව රජමහා විහාරස්ථානයේ පැවැත්වෙන ජාතික වෙසක් උත්සවය විවෘත කිරීමේ අවස්ථාවයි. ජනාධිපතිවරයා එදා පැවැති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ ගුවනින් නොපැමිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණෙතැයි බොහෝ දෙනෙකු බලාපොරොත්තු ව සිටියහ. 
 
 එහෙත් ඒ සියල්ල වෙනස් කරමින් නියමිත වේලාවටම ජනාධිපතිවරයා රැගත් හෙලිකොප්ටරය හික්කඩුව නගර සභා ක‍්‍රීඩාංගණය වෙත ගොඩ බස්වනු ලැබුවේය. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා දකුණේ හිටපු මහ ඇමැති ෂාන් කල්වේලා ඇතිවම ක‍්‍රීඩාංගණය වෙත පැමිණි සිටියේය. ෂාන්ව තම නිල රථයට නන්වා ගත් මෛත‍්‍රී කෙලින්ම ළඟා වූයේ ඓතිහාසික සීනිගම ශ‍්‍රී දෙවොල් මහා දේවාලයටයි. 
 
 දේවාලය වෙත පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ඇමැති වජිර, ගාමිණී ජයවික‍්‍රම හා දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් ඇතුළු පිරිසක් පැමිණ සිටියහ. 
 
 ඉන්පසු ජනාධිපතිවරයා අභිනව ධාතු මන්දිරය විවෘත කරනු ලැබීය. ඒ සමගම ජනාධිපතිවරයා වෙනුවෙන් විශේෂ දේව පූජාවක්ද පැවැත්වූ අතර ඉන් අනතුරුව පාසල් දරුවන් සඳහා ශිෂ්‍යත්ව ප‍්‍රදානයක් ඇතුළු වැඩසටහනක් සූදානම් කර තිබුණත් ඒ සඳහා කල් වේලා මද බව පවසමින් ජනපති සමුගත්තේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දිම වීරක්කොඩි මහතාගේ පියාණන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පිටත්වීමට ඇති බව කියමිනි. 
 
 ෂාන් සමග චන්දිමගේ හපුගල, රෝස්වුඞ්වත්ත නිවස වෙත ළඟා වන විට පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් නිවසේ සිටි අතර ඒ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහාන් සිල්වා ඇතුළු පළාත් දේශපාලනඥයින් පිරිසක් ද සිටියහ. අනතුරුව චන්දිමගේ මෑණියන් සමඟින් ටික වේලාවක් සුහදව කථාබහ කළ ජනපති මෛත‍්‍රී ඉන් නික්මුණේ එදින දිවා ආහාරය ගැනීම සඳහා දකුණේ ආණ්ඩුකාරවර කීර්ති තෙන්නකෝන්ගේ නිල නිවස වෙතයි. 
 
 කීර්ති මේ සඳහා ජනාධිපතිවරයාට අමතරව දිස්ත‍්‍රික්කයේ ආසන සංවිධායකයින් ඇතුළු දේශපාලනඥයින් කිහිප දෙනෙකුටත් ආරාධනා කර තිබුණි. ඇමැති වජිර, ෂාන්, කීර්ති ඇතුළු පිරිස ජනපති සමගින් සුහදව කථාබහ කළේ දිවා ආහාරය පිළියෙල කර තිබුණත් ඒ සඳහා සුදුසු වේලාව තවම උදා වී නොමැති බව පවසමිනි. ඒ අවසරයෙන් ජනාධිපතිවරයා සිය අතීත දේශපාලනය අවදි කරමින් 89 වර්ෂයේ පාර්ලිමේන්තුවට ගිය මන්ත‍්‍රීවරුන් සඳහා නිල නිවාස පිළියෙල කර තිබූ ”ශ‍්‍රාවස්තිය” ඉඩකඩ මදිවීම නිසා කොළඹ ප‍්‍රදේශයෙන් හෝටලයක් සූදානම් කර තිබූ සිද්ධියක් හා ඒ කාලවකවානුවේ සිදු වූ රසවත් සිද්ධීන් පිරිස සමඟ කියමින් සතුටු සාමීචියේ යෙදුනේ හැමදෙනාටම සිනහව ගෙනදෙමිනි. 
 
 මෙසේ සුහදව කථාබහ කර දිවා ආහාරය ද නොගෙනම මෛත‍්‍රී ජනපතිවරයා ඇතුළු පිරිස ළඟා වූයේ ජාතික වෙසක් උත්සවය පැවැත්වෙන පැ?ලිය තොටගමුව රජමහා විහාරස්ථානය වෙතයි. එම ස්ථානයේදී ඇමැති ගාමිණී ජයවික‍්‍රම, ගයන්ත, වජිර ඇතුළු පිරිස මහත් හරසරින් ජනාධිපතිවරයා පිළිගත් අතර ඉන් අනතුරුව උත්සව සභාව ආරම්භ විය. උත්සව සභාවේ පැවිදි අනුශාසනා දෙකක් හා  ගිහි කථා පහක් (05ක්) සූදානම් කර තිබුණි. ගිහි කථා අතර ජනාධිපතිවරයාගේත්, බුද්ධ ශාසන ඇමැතිවරයාගේත්, වජිර, ගයන්ත සහ හිටපු මහ ඇමැති ෂාන් වෙනුවෙන් කථා ඇතුළත් කර තිබුණත්, න්‍යාය පත‍්‍රයෙන් පිට පනිමින් අනවසරයෙන් බලපිටිය ප‍්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත‍්‍රී බලපිටියේ ධම්මික හිමියන් කථාවක් පැවැත්වීම කාගේත් අවධානයට ලක්වූ සිදුවීමක් විය. 
 
 උන්වහන්සේ සිය කථාවේදී බොදුබල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය යුතු බවට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ඒ සමඟම ඇමැති මංගලගේ ප‍්‍රකාශයට විරෝධය දක්වන බවත් පවසා සිටියහ. එසේම මෙම උත්සව සභාවට ඇමැති මංගල පැමිණ සිටියා නම් සියලූම ගරුතර මහා සංඝරත්නය මෙම ස්ථානයෙන් නික්මීමට කටයුතු කිරීමට සැලසුම් කර සිටි බවත් පවසා සිටියහ.
 
 අනතුරුව ජනාධිපතිවරයා දිස්ත‍්‍රික්කයේ විහාරස්ථාන සඳහා ආධාර මුදල් හා හිමිකම් ඔප්පු ප‍්‍රදානයක් ද සිදු කළ අතර තවත් බොහෝ වැඩ කටයුතු රැසක් ඇතියි පවසමින් කොළඹ බලා යෑමට අවසර ගත්තේ සුහද සිතිනි.
 
 ජනාධිපති රහසිගතව 
 ඥානසාර හිමි හමුවෙලා…
 

 වෙසක් පෝය දිනයේ ජනාධිපතිවරයා විශේෂ වැඩ කටයුතු රාශියක් පිළිබඳව සිය අවධානය යොමු කොට සිටියේය… ඒ අතර සිරකරුවන් හත්සිය ගණනකට ජනාධිපති සමාව ලබා දී නිදහස ලබා දීමේ කටයුත්ත ප‍්‍රධාන අංගයක් විය… එහෙත් බොහෝ දෙනෙක් බලාපොරොත්තුව සිටි කාරණයක් ඒත් සමඟම ඉටු නොවීම තුළ රටේ ලොකු කසුකුසුවක් ඇතිව තිබිණි.
 
 පසුගිය සතියේ දේශපාලන ලෝකයේ කතාබහට තුඩු දී තිබූ කාරණා අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හා නිදහස ලබා දීමේ කටයුත්ත ප‍්‍රධාන මාතෘකාවක් විය. වහාබ්වාදය, තවුහිත් ජමාත් සංවිධානය, මුස්ලිම් අන්තවාදය හා මුස්ලිම් අන්තවාදී ක‍්‍රියාකාරකම් පිළිබඳව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මීට වසර කීපයකට පෙර කියූ දේ අද ඇස් පනාපිට ඔප්පු වී තිබීම තුළ ඥානසාර හිමියන්ගේ දේශපාලන භාවිතාවට වර්තමාන සමාජයේ ලොකු වලංගුතාවයක් ලැබී තිබිණි. මේ නිසා සමාජයේ බොහෝ කණ්ඩායම් ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටි ඉල්ලීම් අතර ඥානසාර හිමියන්ට ඉතිහාස ලබාදීම ප‍්‍රධානතම ඉල්ලීමක් විය.
 
 ඒත් වෙසක් දවසේ ප‍්‍රකාශයට පත් පත් කෙරුණු සිර සිරකරුවන් හත්සිය ගණනකගේ ලැයිස්තුව තුළ ඥානසාර හිමියන්ගේ නම නොතිබිණි. මේ හේතුවෙන් සමහර පිරිස් ජනාධිපතිවරයාට දොස් පවරන්නට ද පටන්ගෙන තිබීම විශේෂත්වයකි.
 
 ඒත් සමාජයේ වැඩි දෙනෙක් දැන නොසිටි රහසිගත සිදුවීමක් ද මේ අතර සිදුවෙමින් තිබිණි.. ඒ වූ කලී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම් දුමින්ද දිසානායක පහුගිය කාලයේ අවස්ථා කීපයකදීම වැලිකඩ බන්ධනාගාරයට ගොස් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් හා සාකච්ඡුා වට කිහිපයක්ම පවත්වා තිබීමය.
 
 මෙම සාකච්ඡුාවල ප‍්‍රතිඵලයක් වශයෙන් ජනාධිපතිවරයා ද කිහිප වරක්ම ඥානසාර හිමියන් හා කතාබහ කර තිබිණි. පසුගිය වෙසක් දවසේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් වැලිකඩ බන්ධනාගාරයට ගොස් ඉතාමත්ම රහසිගතව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බැහැදකින්න එම සාකච්ඡුාවල අවසන් ප‍්‍රතිඵලයක් අනුවය.
 
 ඥානසාර හිමියන්ව හමුවන ගමනට ඇමැතිවරු කීප දෙනෙක්ද පැමිණ සිටියහ… ජනාධිපතිවරයා සමඟ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් ද මෙම ගමනට පැමිණීම විශේෂත්වයකි… ජනාධිපතිවරයාගේ හා බන්ධනාගාර කොමසාරිස්වරයාගේ වාහන දෙකෙන් මෙම පිරිස බන්ධනාගාරය ඇතුළට ප‍්‍රවේශ වූහ.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල කෙලින්ම ගියේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරියගේ කාර්යාලය වෙතය. ඇය ද පොළොන්නරුවේ පදිංචිකාරියකි… ඇය සමග ආගිය තොරතුරු කතා බහ කරමින් සිටින අතරතුර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ එතැනට පැමිණියහ. උන්වහන්සේ වෙනුවෙන් ඩිලන්ත ලියනගේ ද පැමිණ සිටියේය.
 
 මට අපේ හාමුදුරුවෝ එක්ක ටික වෙලාවක් පුද්ගලිකව කතා කරන්න ඕන… ඕගොල්ලන්ට පුළුවන්ද පොඞ්ඩක් එහාට මෙහාට වෙලා අපිට ඉඩ දෙන්න… ජනාධිපතිවරයා සෙසු පිරිස්ගෙන් ඉල්ලූ ඉල්ලීමට ඉතා ඉක්මණින් ප‍්‍රතිචාර ලැබිණි… ස්වාමීන් වහන්සේත් ජනාධිපතිවරයාත් විනාඩි 35 ක කාලයක් මෙසේ සාකච්ඡුා කළ අතර අතරමගදී එම සාකච්ඡුාවට උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන්ද සහභාගී වීම විශේෂත්වයකි.
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සමග පැවති සාකච්ඡුාව නිම වී එහිමි එතනින් නික්ම ගිය පසු තවත් විශේෂ පුද්ගලයෙක් එතනට පැමිණියේ ය…. ඒ පුද්ගලයා සමඟ ජනාධිපතිවරයා විනාඩි 5 ක කාලයක් ඉතාමත්ම හිතවත්ව කතාබහ කළේය… සමහරුන් කීවේ පැමිණියේ හිටපු මන්ත‍්‍රීවරයකු බව ය. ජනාධිපතිවරයා මෙසේ ඉතාමත්ම රහසිගතව දුමින්ද සිල්වා මන්ත‍්‍රීවරයාව ද එදා හමු වූ බව බොහෝ දෙනෙකු විස්තර කතා කළේ නැත…
 
 එපමණක් ද නොව…. මෙම ගමනේදී ජනාධිපතිවරයා හමු වන්නට තවත් අමුත්තකු ද පැමිණ සිටියේය… ආන්දෝලනාත්මක නඩුවකට හසුවී දඬුවම් ලබමින් සිටින පොලිස් නිලධාරීන් දෙදෙනකු වන වාස් ගුණවර්ධන හා බමුණුසිංහ යන අය ගැන ද සමාජයේ විවිධ කතා තිබිණි.. සමහරු කීවේ එම දෙදෙනාට ද ජනාධිපතිවරයා සමාවක් දිය යුතු බවකි. වාස් ගුණවර්ධන මහතාගේ සහායකයා ලෙස ක‍්‍රියා කළ බමුණුසිංහ පමණක් පැමිණ තවත් විනාඩි කීපයක් ජනාධිපතිවරයා සමග කතා කිරීම විශේෂත්වයකි… මේ දෙස බලා සිටී දේශපාලනික නිරීක්ෂකයන්ගේ මතය වූයේ ඉදිරියේ දී මේ කීපදෙනා සම්බන්ධයෙන් ද තරමක් ලිහිල් ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට ඊට අවස්ථා උදා විය හැකි බව ය… කෙසේ වෙතත් මේ පුද්ගලයින් එදින මෙසේ ජනාධිපතිවරයා හමු වන්නට ආ බව පොදුවේ දේශපාලන ලෝකයට මෙන්ම මාධ්‍යවලට ද රහසක් විය…
 
 පෝදා රණවිරු සැමරුමට 
 මහින්දත් නුවර ගිහින්…

 
 වෙසක් පොහෝ දිනය දා උදේ වරුවේ මහින්ද සිටියේ තංගල්ලේය. සිරිත් පරිදි තංගල්ල නිවසේ පැවැත්වෙන පොහෝ දින ධර්ම දේශනාවට සහභාගි වූ මහින්ද ගුවනින් මහනුවර බලා ගියේ මයිලපිටිය රණවිරු ස්මාරකය අභියස දී පැවැත්වුණු විජයග‍්‍රහණයේ දස වර්ෂ පූර්ණ රණවිරු සැමරුමට සහභාගී වීම සඳහාය. 
 
 මෙවර රණවිරු සැමරුම සංවිධාන කර තිබුණේ දිලූම් අමුණුගම පදනමේ දායකත්වයෙනි. උළෙලට සහභාගි වී සිටි රණවිරු මාපිය, ඥාති මිත‍්‍රාදීන්ගෙන් මහින්දට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. බොහෝ රණවිරු මාපියන් මහින්දගේ අතින් අල්ලා ගනිමින් කතා බහ කරමින් සිටින අතරේ රණවිරු දූ දරුවෝ මහින්දගේ දෙපා වැඳ ආශිර්වාද ලබාගත්හ. 
 
 ”අද දවස හැමෝටම රණවිරුවන්ගේ අගය මතක් වෙන දවසක්. මේ අවුරුදු හතර ඇතුළේ අපේ රණවිරුවන් ගොඩක් දුක් වින්දා. සමහරු හිරේ දැම්මා. නිකරුණේ පොලිසි, උසාවි ගාණේ රස්තියාදු කෙරෙව්වා. හැබැයි කාටත් අන්තිමට ඕනේ වුණෙත් රණවිරුවන්වම තමයි” මහින්ද පැවසීය. 
 
 ”ඔබතුමාට විතරයි අපේ දරුවන් කරපු සේවය මතක තියෙන්නේ. ආණ්ඩුවේ ලොකු ලොක්කෝ සේරටම ඒවා අමතක වෙලා” මාපියෝ චෝදනා කළහ.
 
 ”කාට අමතක වුණත් මේ රටේ ජනතාවට අපේ රණවිරුවන් අමතක වෙන්නේ නැහැ. මිනිස්සු හැමදාම රණවිරුවන් ගැන මතක් කරනවා” මහින්ද ඔවුන් අස්වසමින් කීවේය. 
 
 උත්සවය හමාර වීමෙන් පසුව මහින්ද හෙලිකොප්ටරයේ නැගී ආවේ කැලණි රජමහා විහාරස්ථානයටය. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රට තුළ මතුව ඇති අනාරක්ෂිත බව නිසා බොහෝ දෙනා වෙසක් පොහෝ දිනයේ පන්සලකටවත් නොගොස් නිවෙස් තුළට වී සිටින නිසා මහින්ද කැලණි විහාරයට ගියේ බිය නැතුව පන්සල් යන්නැයි පණිවිඩයක් ලබාදීම සඳහාය. 
 
 ඒ වන විටත් 20,000 ක පමණ ජනකායක් කැලණි විහාරයට පැමිණ සිටි අතර කැලණි රජමහා විහාරාධිපති හිමියන් ද බැහැ දුටු මහින්ද විහාරයෙන් පිටත්ව ගියේ බෙලිමල් සංග‍්‍රහයක් ද විඳීමෙන් අනතුරුවය. ඒ යන අතරතුර ශ‍්‍රී සම්බෝධි මහා විහාරය ආශ‍්‍රිතව ඉදිකර තිබුණු වෙසක් කලාපයට ගොඩවැදුණු මහින්ද විජේරාම නිවස දක්වා පයින් ගියේ අවට වෙසක් සිරි ද නරඹමිනි.
 
 කථානායකගේ වැඩ ගැන
 දෙපැත්තෙන්ම අගයයි… 

 
 රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සහ ජනතා විමුක්ති පෙරමුණ රජයට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය ද පසුගිය සතියේ කථානායකවරයා අතට පත්විය. මේ අතරින් ඇමැති රිෂාඞ්ට එරෙහි විශ්වාසභංගයේ දිනය නිවැරදිව යොදා නොතිබූ බව පැහැදිලි විය. මේ පිළිබඳව තොරතුරු කන වැකුණු වහාම මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු කථානායකවරයා අමතා පෙන්වා දුන්නේ වර්ෂය 2019 වෙනුවට 2018 ලෙස සඳහන් කිරීමේ හේතුව පදනම් කරගෙන විශ්වාසභංග යෝජනාව ප‍්‍රතික්ෂේප කිරීමට කථානායකවරයාට හැකි බවය. නමුත් කථානායකවරයා මෙහිදී හරි මැද හිටගත්තේය. හෙතෙම මෙහිදී පැහැදිලි කළේ විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකමක් බැවින් දිනය වැරදීම යන තාක්ෂණික කාරණය පදනම් කරගෙන එය ප‍්‍රතික්ෂේප කිරීමට තමන් සූදානම් නොමැති බවය. විපක්ෂය එම වරද පිළිගෙන එය වරද නිවැරදි කිරීමට අවස්ථාව ඉල්ලා ඇති බැවින් ඊට ඉඩ දීමට තමා තීරණය කර ඇති බව හෙතෙම කීවේය. 
 
 කථානායකවරයාගේ මෙම තීරණය ඇතැමෙකුගේ සතුටට හේතු නොවුවද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු ගණනාවක්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදය මුල්තැන්හිලා කටයුතු කිරීම පිළිබඳව කථානායකවරයාට ප‍්‍රශංසා කළහ. අඟහරුවාදා පස්වරුවේ පක්ෂ නායකයන් කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූයේ ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවන් පිළිබඳව අවධානය යොමු කිරීමේ අරමුණෙනි. බදුර්දීන් අමාත්‍යවරයාට එල්ලවී ඇති චෝදනා පිළිබඳව තේරීම් කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂයෙන් යෝජනා කෙරුණු අතර විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දිනයක් නියම කිරීම ඒ සියල්ලට වඩා කඩිනම් විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන්ගේ අදහස විය.
 
 තම දුක්ගැනවිලි කියාපෑමට පැමිණෙන ජනතාව දිනෙන් දින වැඩි වීම නිසා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාට මේ දිනවල ගත කිරීමට සිදු වී ඇත්තේ තරමක අවිවේකී කාලයකි.
 
 පසුගිය දින කීපයකම විපක්ෂ නායකවරයාගේ කොළඹ විජේරාම නිවසට පැමිණි ව්‍යාපාරිකයන් කියා සිටියේ වැඩි දවසක් මේ තත්ත්වය මත තම ව්‍යාපාර ගෙන යෑමට නොහැකි බවය.
 
 ”මම ආණ්ඩුවේ වගකිව යුත්තන්ට කීප වරක් කිව්වා ව්‍යාපාර වැටෙන්න දෙන්න එපා මොනවා හරි කරන්න කියල. ඒ අයට කිසි ගාණක් නෑ. රටේ ආරක්ෂාව ගැනත් කිව්වා. ඒකත් ගණන් ගන්නෙ නැතුව ඒ අය කළේ අපට හිරිහැර කරල සතුටු වුණ එකයි. අපි හදල දීපු රටට කරල තියෙන විනාශය සුළු පටු නෑ” විපක්ෂ නායකවරයා කීවේ එදා රට දියුණු කරන්න වැඩ කරපු හැටි පෙන්නා දෙමිනි.
 
 ”දැන් මිනිස්සු ඉන්නේ ආණ්ඩුව ගැන පුදුම තරහකින්. පාලකයන්ට විරුද්ධව ලොකු නැගිටීමක් ළඟදීම එන්න පුළුවන් ” ගාමිණී ලොකුගේ මන්ත‍්‍රීවරයා කියද්දී, 
 
 ”මේ පාලකයන් ගැන මිනිස්සු කියන දේවල් දැන ගන්න ඕන නම් පාලකයන් කරන්න ඕන වෙස් වලාගත් පිරිසක් රට වටා යවල තොරතුරු ගැනීමයි. එතකොටවත් සුද්ද සිංහලෙන් මිනිස්සු කියන දේවල් අහ ගන්න පුළුවන්” විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ කීවේය.
 
 රජයෙන් නොලැබූ ආරක්ෂාව 
 විපක්ෂයෙන් ලබා දීලා…

 
 රටේ පාසල්වල ආරක්ෂක තත්ත්වය පිළිබඳව ඇමැති අකිල විරාජ් කුමක් කීවත් ජනතාව ඒ කිසිවක් විශ්වාස කළේ නැත… එහෙත් යුද හමුදාපතිවරයා ඒ සම්බන්ධයෙන් පසුගිය සතියේ ජනතාවට හොඳ සහතිකයක් දුන්නේය… ඒ අනුව 21 අඟහරුවාදා සිට තම දරුවන් පාසලට යවන්නට රටේ බහුතරයක් දෙනා දෙමාපියෝ තීරණය කළහ… විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ජනතාව අමතමින් ඉල්ලීමක් කළේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ඇති කර ගෙන තම දරුවන් පාසල් යවන්න උත්සාහ කරන ලෙසයි… තමන් ද විපක්ෂයේ මන්ත‍්‍රීවරුන්ද 21 වැනි අඟහරුවාදා ඒ පිළිබඳව ජනතාවට විශ්වාසයක් ලබාදීමට පාසල් කරා යන බව ඔහු හැකි සෑම අවස්ථාවකම ජනතාවට දැනුම් දී සිටියේ ය…
 
 ඒ අනුව උදෑසන 6ට පමණ මහින්ද කොළඹ තර්ස්ටන් විදුහල අසලට ගියේය. උදෑසනම පාසල අසලට ආ අමුත්තා දුටු ළමයින් මෙන්ම ගුරුවරුන් සහ මවුපියන් ද පුදුමයට පත් ව සිටිනු දක්නට ලැබුණි. 
 
 ”මේක ඉතින් මගෙත් ඉස්කෝලෙනේ” කියමින් මහින්ද මවුපිය, ගුරුවරුන් සමඟ කතාබහ කරන අතරේ දරුවෝ මහින්දගේ පා වැඳ ආශිර්වාද ලබාගත්හ. 
 
 ”මොන දේ වුණත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්න ඉඩ තියන්න අපට බැහැ. ඒ නිසයි විපක්ෂයක් විදියට අද පාසල් ළඟට ඇවිත් මේ දරුවන්ට ශක්තියක් වෙන්න අපි තීරණය කළේ. ත‍්‍රස්තවාදයට බයවෙලා ගෙවල්වලට වෙලා හිටියොත් ඒක ත‍්‍රස්තවාදීන්ගේ ජයග‍්‍රහණයක් වෙනවා. අපි මේ වෙලාවේ කල්පනා කරන්නේ රට ගැන මිසක් පක්ෂ ගැන නෙමෙයි” මහින්ද පැවසීය. 
 
 අනතුරුව මහින්ද රාජකීය, ආනන්ද, නාලන්ද, විශාකා, ගෝතමී සහ හින්දු විද්‍යාල වෙත ද ගොස් දරුවන් සමඟ කතා බහ කරමින් සිටියේය. මහින්ද පැමිණෙන බව දරුවන් තබා විදුහල්පතිවරුන් ද දැන සිටියේ නැත. බොහෝ දෙනා පුදුමයට පත්ව සිටින අතරතුරේ විශාඛා විද්‍යාලයේ විදුහල්පතිනිය හදිසියේම පැමිණි මේ අමුත්තාට තේ පැන් පිරිනැමුවාය. 
 
 විපක්ෂයේ බොහෝ දෙනා පාසල්වලට ගොස් සිසු දරු දැරියන්ගේ පැමිණීම ගැන නිරීක්ෂණය කරමින් ඔවුන්ගේ බිය සැක සංකා නැති කර ගන්නට උදවු උපකාර කළත් ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරු එම කාර්යභාරයට එක්ව සිටියේ නැත. එහෙත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ පාසල් කිහිපයකට යෑමෙන් දරු දැරියන්ගේ උවමනා එපාකම් සොයා බලමින් ඔවුන්ගේ සැක බිය දුරු කරමින් කටයුතු කරන්නට අමාත්‍ය විජේපාල හෙට්ටිආරච්චි ක‍්‍රියා කර තිබීම විශේෂත්වයකි….
 
 එහෙත් ඔහු එහිදී මහින්ද රාජපක්ෂගේ ක‍්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කළේය… මහින්ද රාජපක්ෂ කොළඹ පාසල්වලට යමින් පාසල්වල තත්ත්වය සොයා බලමින් පාසල්වල ආරක්ෂාව පිළිබඳ මහජනතාවගේ සැක බිය දුරු කරන්නට ක‍්‍රියා කරන ආකාරය සමාජයේ කොයි කවුරුත් පැසසුමට ලක් කරන ආකාරය අපට දැකබලා ගත හැකි විය… එහෙත් ඒ ක‍්‍රියා කලාපය විජේපාල හෙට්ටිආරච්චිගේ විවේචනයට ලක් වූයේ දේශපාලනය තවත් එක් අඳුරු පැතිකඩක් මේ යැයි අනාවරණය කරමිනි… 
 
 යුරෝපෙට ගිය ප‍්‍රසන්නට 
 ඔස්ටේ‍්‍රලියානු චෝදනාවක්…

 
 සති දෙකක පමණ කාලයක් යුරෝපා සංචාරයක නිරත වූ ප‍්‍රසන්න යළි මෙරටට ආවේ අඟහරුවාදා අලූයමය. ප‍්‍රසන්නගේ ගම වන මිනුවන්ගොඩ නගරයේ කලබලකාරී තත්ත්වයක් පසුගිය සතියේ උදා වන විටත් ඔහු සිටියේ යුරෝපයේය. එහි සිටම සිය ආධාරකරුවන් දැනුවත් කරමින් කලබලකාරී වාතාවරණය සංසිඳුවීමට මැදිහත් වූ ප‍්‍රසන්න මෙරටට පැමිණි වහාම මිනුවන්ගොඩ බලා ගියේය. 
 
 ප‍්‍රසන්න ප‍්‍රථමයෙන් ගියේ මිනුවන්ගොඩ රජමහා විහාරස්ථානය වෙතය. එහි විහාරාධිකාරී හැවැන්තැන්නේ සීලරතන හිමියන් බැහැ දුටු ප‍්‍රසන්න සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ඇසුවේය. විහාරාධිකාරී හිමියන් කියා සිටියේ මෙම සිදුවීමට වගකිව යුත්තේ ආණ්ඩුව බවය. සිද්ධිය සමතයකට පත් කිරීමට කඩිනම් පියවර නොගැනීම නිසා මෙම සිදුවීම දුරදිග ගිය බවත් උන්වහන්සේ කියා සිටියහ. 
 
 ඒ අතරේ ප‍්‍රසන්න ආ ආරංචියට එහි පැමිණ සිටියේ මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින තරුණ පිරිසකගේ මාපිය ඥාතීන් පිරිසකි. ඔවුන් කියා සිටියේ කිසිදු වරදක් නොකළ පිරිසකුත් මිනුවන්ගොඩ පොලීසිය විසින් අධිකරණය හමුවට පමුණුවා රිමාන්ඞ් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කර ඇති බවය.
 
 සියලූදෙනාට සවන් දුන් ප‍්‍රසන්න කීවේ වරදක් නොකළ අය වහා නිදහස් කර ගැනීමට කටයුතු කරන බවය. ඒ සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව සමඟ සාකච්ඡුා කරන බව පැවසූ ප‍්‍රසන්න මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කතා කරන බවත් කීවේය. අනතුරුව ප‍්‍රසන්න ගියේ හීනටියන ධම්මාලෝක පොත්ගුල් විහාරස්ථානය වෙතය.
 
 එම විහාරස්ථානයේ රැස්ව සිටි පිරිසකුත් පොලිස් අත්අඩංගුවට පත්ව සිටි අතර ඒ අතර දායක සභාවේ පිරිසක්, වෙසක් දිනයේ පන්සල සැරසීමට ආ තරුණ පිරිසක්, චෛත්‍යයේ හුණු පිරියම් කරන බාස් සහ ඔහුගේ ගෝලයා ද, පන්සලේ පොඩි හාමුදුරුවන්ගේ සොහොයුරා ද විය. විහාරාධිකාරී හිමියන් හමු වූ ප‍්‍රසන්න යළි මිනුවන්ගොඩ බලා ආවේය.
 
 කෙසේ වෙතත් බදාදා රාත‍්‍රියේ සිය හිතවත් මාධ්‍යවේදියකුට එඞ්වඞ් කියා ඇත්තේ මෙල්බන් නුවර සිට ප‍්‍රහාරය සැලසුම් කළ තැනැත්තා ලංකාවට පැමිණ ප‍්‍රහාරයේ ප‍්‍රතිඵල නැරැඹීමට ගොස් ඇති බවයි. 
 
 එම ප‍්‍රකාශය දැනගන්නට ලැබුණු නිමල් ලන්සා බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප‍්‍රසන්නගෙන් ඇසුවේ මොකද මන්ත‍්‍රීතුමා අර ප‍්‍රහාරයක් සැලසුම් කළා කියලා චෝදනාවක් තියෙන්නේ යනුවෙනි. 
 
 ”එඞ්වඞ් නියෝජ්‍ය ඇමැතිතුමා හැමදාම ලණු කනවා. මේ පාරත් ලණුවක් කාලා. එතුමා කියලා තියෙනවා මම මෙල්බන් නුවර ඉඳන් ප‍්‍රහාරය සැලසුම් කළා කියලා. හැබැයි මම ගියේ ඔස්ටේ‍්‍රලියාවේ නෙමෙයි යුරෝපයටයි. මම නම් ලංකාවේ හිටියෙත් නැහැ. හැබැයි එයයි චමින්ද සිල්වයි සිද්ධිය මුල ඉඳන්ම එතැන හිටියා. ඉතින් ඒ දෙන්නට මොකද මේක පාලනය කරගන්න බැරි වුණේ? අපි හිටියා නම් ඔහොම වෙන්න දෙන්නේ නැහැ” ප‍්‍රසන්න පැවසීය.
 
 තවත් නඩු දමා ගන්න 
 රංජන්ට දැන් බැහැලූ..

 

ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස් ලබා දේ යැයි කියා සමාජයේ කතාවක් පැතිර ගිය ද එය ස්ථිර කරන්නට කිසිත් සාධකයක් වෙසක් පෝය දිනය වන තුරුත් සමාජගතව තිබුණේ නැත. එහෙත් ඒ සඳහා අවශ්‍ය ලිපි ලේඛන බන්ධනාගාර දෙපාර්තමේන්තුව ජනාධිපති ලේකම් කාර්යාලය අතර හුවමාරු වන්නට පටන් ගෙන තිබුණේ මීට සති කිහිපයකට පෙර සිටය. මේ පිළිබඳ ව ආරංචිය ලැබුණ සැනින් සිංහල බෞද්ධයෝ බහුතරයක් සතුටට පත් වුවත් සමහර රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්ට හා ඇතැම් සමාජ ක‍්‍රියාකාරිකයින්ට නම් එය කල් කදුරු තිත්ත ආරංචියක් විය.. මේ ආරංචිය නිසා වඩාත්ම කලබලයටත් විමතියටත් පත්ව සිටි පුද්ගලයා වූයේ සන්ධ්‍යා එක්නැලිගොඩ ය. පසුගිය සතියේ ඇය මහත් කලබලයෙන් ඇය වෙත උදව් කරන රාජ්‍ය නොවන සංවිධාන හා සමාජ ක‍්‍රියාකාරිකයින් හමුවෙමින් මේ පිළිබඳව සමාජයේ පැතිර යන ආරංචිය සත්‍යයක් දැයි සොයා බලන්නට පටන් ගෙන තිබිණි…
 
 ආරංචිය ලද සැණින් සමහර සමාජ ක‍්‍රියාකාරිකයින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැත්තේ දුවන්නට වූයේ අමාත්‍ය රාජිත සේනාරත්න හා චතුර සේනාරත්න මේ සම්බන්ධයෙන් දරන ස්ථාවරය කුමක්ද කියා දැනගන්නටය.. එහෙත් ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවක් සඳහා සහභාගි වන්නට රාජිත ඇමැතිවරයා ද රටින් පිටව ගොස් සිටි නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් ලබාගත හැකි පිළිසරණක් නොමැති වූහ. සමහරු එක්සත් ජාතික පක්ෂයේ නායකයින් හමුවී ජනාධිපතිවරයාට බලපෑමක් කරන්නට හැකි දැයි උත්සාහ කළත් පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුව රටේ ඇතිවී තිබෙන තත්ත්වය තුළ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන් ගේ මතවාදයට යම් වලංගුභාවයක් සමාජයේ ලැබී තිබුණ බැවින් ඒ කාරණාව සම්බන්ධයෙන් අතගසන්නට එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ ද තරමක මැලිකමක් දක්වන්නට වූහ.
 
 කෙසේ වෙතත් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාව ලැබේ යැයි විශ්වාසයක් ඒ වන විට බොදු බලසේනා සංවිධානයේ ඇතැම් කණ්ඩායම්වලට තිබුණේ ද නැත. මේ අවස්ථාවේ යම් යම් බලපෑම් මගින් මේ පිළිබඳව සංඥාවක් ජනාධිපතිවරයාට ලබා දිය යුතු යැයි බොදු බලසේනා සංවිධානයේ ක‍්‍රියාකාරිකයින්ද කල්පනා කරන්නට වූහ. බොදු බල සේනා සංවිධානයේ ක‍්‍රියාකාරී භික්ෂුන් වහන්සේලා පිරිසක් මේ අතර රන්ජන් රාමනායක ඇමැතිවරයා හමුවන්නට මාදිවල පිහිටි මන්ත‍්‍රී නිවාස සංකීර්ණයට ගියේ ඒ අනුවය. 
 
 පසුගිය අඟහරුවාදා උදේ වරුවේ බොදු බල සේනාවට සම්බන්ධ මෙම ස්වාමීන් වහන්සේලා මාදිවෙල නිවාස සංකීර්ණයට පැමිණ සිටින වෙලාවේ රන්ජන් රාමනායක සිටියේ පාර්ලිමේන්තුවේය. එදින උදයේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්විණි. ඒ හා සමගම අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කණ්ඩායම් රැස්වීමක් ද පැවැත්වුණේ විශේෂ හේතු කිහිපයක් නිසාය… රටේ ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය, ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුවේ ප‍්‍රබල ඇමැතිවරයකු වන රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙන විශ්වාසභංග යෝජනාව, ජනාධිපතිවරයා හා අග‍්‍රාමාත්‍යවරයා අතර පවතින, ඇතැම් අවස්ථාවන්වල දී උණුසුම්ව මතුව එන හා තවත් අවස්ථාවකදී නිවී යට යන බලඅර්බුදය ආදී ප‍්‍රශ්න ගණනාවක් ම ඒ වන විට එක්්සත් ජාතික පක්ෂයට නිරතුරුව වධ දෙමින් තිබිණි. 
 
 මේ අතර රන්ජන් රාමනායක ඇමැතිවරයා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ හමුවන්නට පැමිණියේය. අගමැතිවරයා ඒ මොහොතේ සිටියේ රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු කීපදෙනෙකු සමග රටේ ඇති වී තිබෙන අර්බුදය ගැන විශේෂ සාකච්ඡුාවක නිරත වෙමින් සිය පාර්ලිමේන්තු කාර්යාලයේය.
 
 බොදුබල සේනා සංවිධානයෙන් ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ඇවිල්ලා ඉන්නවා මාව හමුවෙන්න මාදිවෙල මන්ත‍්‍රී නිවාස සංකීර්ණයේ… මං හිතන්නේ උන්වහන්සේලා සාකච්ඡුා කරන්න හදන්නේ ඥානසාර හිමියන්ට නිදහස් ලබාදීම ගැන… මං මේ ඒ ගැන කතාබහක් කරන්න කලින් ඔබතුමාගෙන් අහන්නේ උන්වහන්සේට නිදහස් ලබා දෙන්න ජනාධිපතිවරයාගේ සූදානමක් තියෙනවද…. එහෙම නම් ඒ සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මතය මොකක්ද කියලයි…. මට දේවල් කතා කරන්න බැහැනේ…
 
 කතා කරන්න යන්න කලින් රන්ජන් ඇවිල්ලා මේ ගැන මාත් එක්ක සාකච්ඡුා කරපු එක නං හරිම හොඳයි. හැබැයි නිදහස් ලබා දෙනවද නැද්ද කියන එක ගැන අපට තීන්දුවක් ගන්න බෑ… මොකද ඒ සම්බන්ධයෙන් තීන්දුව දීලා තියෙන්්නේ මේ රටේ අධිකරණය… අධිකරණයෙන් දීපු තීන්දුවකට එරෙහිවව අපේ පක්ෂයට කියලා මතයක් තියෙන්න බැහැනෙ.
 
 ඒක ඇත්ත අගමැති තුමා… ඒ උනාට උන්වහන්සේලා දැන් ඇවිල්ලා මාත් එක්ක සාකච්ඡුා කරන්න බලාගෙන ඉන්නවා. මට මේ වෙලාවේ උන්වහන්සේලා හමුවෙන්න වෙනවා….
 
 නෑ… රන්ජන් ගිහිල්ලා උන්වහන්සේලත් එක්ක කතා කරන්න… හැබැයි මතක තියාගන්න මේ ටික. 
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මේ රටේ උත්තරීතර අධිකරණය විසින් දඬුවමක් දීලා තියෙන්නෙ මේ රටේ පවතින නීතියට අනුව නිවැරදිව නඩුවක් ගොනු කරලා නඩුව විමසලා සාක්ෂි විමසලා නියමිත කාලය අරගෙන හොඳට හොයලා බලලා විනිසුරුවරුන් විසින් තීන්දුවක් දීලයි …. දැන් ඒ තීන්දුවට අභියෝග කරන්න බෑ… එහෙම අභියෝග කළොත් වෙන්නෙ අපි උසාවියට අපහාස කළා වෙනවා. රංජන්ට දැන් නඩු විසි අටක් ද විසි නවයක් ද තියෙනවා නේද… උසාවියට අපහාස කළා කියලත් නඩු තියෙනවනේ….
 
 ඔව් සර්… මට දැන් නඩු විසි අටක් තියෙනවා…
 
 එහෙම නම් ඉතින් ඒ ගැන කතා කරන්න ගිහිල්ලා තවත් අපහාස නඩුවක් දාගන්නේ නැතුව බොහොම පරිස්සමින් උන්වහන්සේලා හම්බවෙලා සාකච්ඡුා කරල කතාබහ කරල එන්න.
 
 ඒ අනුව රන්ජන් රාමනායක නිවාස සංකීර්ණයට ගොස් ස්වාමීන් වහන්සේලා සමඟ සාකච්ඡුාවට සහභාගි විය. එහිදී ස්වාමීන් වහන්සේලා කෙලින්ම රන්ජන් රාමනායකගෙන් විමසා සිටියේ ගල්ගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව හා නිදහස් ලබාදීම සම්බන්ධයෙන් රන්ජන් රාමනායකගේ මතය කුමක්ද කියාය..
 
 මගේ පුද්ගලික මතය නම් ස්වාමීන් වහන්සේලා කවුරු වුණත් හිරගෙවල්වල ඉන්නවට මම එකඟ නෑ… උන්වහන්සේලා ඉන්න ඕන විහාරස්ථානවල.. ගිහි ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම සහ උදව් උපකාර කිරීම නේ උන්වහන්සේලාගේ වගකීම… ඒ නිසා 
 
 ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ බන්ධනාගාර ගතවෙලා ඉන්න එක ගැන මම කනගාටු වෙනවා…
 
 ඒ ගැන නෙවෙයි අපි කතා කරන්නේ… උන්වහන්සේට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඔබතුමාට බැරිද පාර්ලිමේන්තුවේ හඬක් නගන්න… ඔබතුමා බොහොම රැඩිකල් මත පළ කරන තමන්ගෙ හිතට එකඟව කතා කරන කෙනෙක් හැටියටයි අපි දන්නේ…. ස්වාමීන් වහන්සේලා කීහ…
 
 ඔව් මම එහෙම කතා කරන්න කැමතියි. එහෙම කතා කරලා ගරු අධිකරණයේ දැන් මට විරුද්ධව නඩු 28 ක් ක‍්‍රියාත්මකයි. තව කට්ටියක් ඔන්න දැන් තව නඩුවක් දාන්න හදනවලූ. ඒකත් දැම්මහම 29ක් වෙනවා නේ… සංඛ්‍යාව 30 ක් බවට පත් කරගන්න මම කැමති නෑ… ඥානසාර හිමියන්ට නිදහස ලබා දෙන්න කියලා මම හඬක් නැගුවා ම වෙන්නේ උසාවිය විසින් ක‍්‍රමානුකූල නියමානුකූලව දීපු තීන්දුවට එරෙහිව හඬක් නගන එක… ඒක උසාවියට අපහාස කිරීමක් කියලා අර්ථ දැක්වෙන්න බැරි නෑ… එසේ කියමින් රංජන් රාමනායක බොදු බලසේනා ස්වාමීන් වහන්සේලාගෙන් සමු ගත්තේ තමන්ට පාර්ලිමේන්තුවේ අද දිනයේ තවත් වැඩ රාජකාරි රාශියක් ඇති බවට දැනුම් දෙමිනි.
 
 එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වුණු ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම් මෙවර තරමක් උණුසුම් මුහුණුවරක් ගත්තේය. ඊට හේතුව රිෂාද් බදියුදීන් ඇමැතිවරයා වෙනුවෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කර තිබූ විශ්වාසභංගය පිළිබඳ විශේෂ සාකච්ඡුාවයි… 
 
 මෙහිදී සාකච්ඡුාව ආරම්භ වූයේ ද මෙම විශ්වාසභංගයට ආණ්ඩුව මුහුණ දෙනවද නැද්ද කියන කාරණය සාකච්ඡුාවට බඳුන් කරමිනි…
 
 සාකච්ඡුාවේදී එක්සත් ජාතික පක්ෂයේ සමහර තරුණ මන්ත‍්‍රීවරු තරමක් විවාදාත්මක මත පළ කරමින් කතා කරන්නට වූහ… විශේෂයෙන්ම වයඹ පළාතේ මුහුදුබඩ ප‍්‍රදේශවල ජනතාව සමඟ ජීවත් වන කතෝලික පිරිස් නියෝජනය කරන මැති ඇමැතිවරු මේ සම්බන්ධයෙන් දැඩි අර්බුදයක සිටින බව පෙනෙන්නට තිබිණි…. පසුගිය දිනවල විශ්වාසභංගය ඉදිරිපත් කළ මොහොතේ ඇතැම් කතෝලික මන්ත‍්‍රීවරු කීවේ විශ්වාසභංගයකට ඉඩ නොතබා රිෂාඞ් බදියුදීන් මේ අවස්ථාවේ තනතුරුවලින් ඉල්ලා අස්වී ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යන පරීක්ෂණ කටයුතුවලට සහයෝගය ලබාදීමේ වැඩ පිළිවෙතක් අනුගමනය කළ යුතු බවකි… එසේ කටයුතු නොකළහොත් තමන්ට මෙම විශ්වාසභංගයට පක්ෂව ඡුන්දය දීමට සිදුවෙන බව සමහර මන්ත‍්‍රීවරු කෙළින්ම කියා පෑහ… නිරෝෂන් පෙරේරා මන්ත‍්‍රීවරයා මෙන්ම දොස්තර ජයලත් ජයවර්ධන ගේ පුත් කාවින්ද ජයවර්ධන එම මතයේ තදින් ම සිටියේය…. ඒ අතර තවත් කතෝලික මන්ත‍්‍රීවරු ගණනාවකගේම ස්ථාවරය එය බව ඔවුන්ගේ එම කතාවලින් පැහැදිලි වූහ.
 
 නෑ… නෑ… කලබල වෙන්න එපා… මේක පදනමක් නැති විශ්වාසභංගයක්… මේ විශ්වාසභංගයක් පිළිගන්න පුළුවන් කාරණා ඔප්පු කරන්න පුළුවන් කාරණා එකක්වත් නැහැ…. හමුදාපතිට තර්ජනය කරලා තියෙනවා කියා කිව්වට එතුමාම කියනවා එහෙම කළේ නෑ කියලා…. අනිත් එක රිෂාඞ්ට විරුද්ධව චෝදනා තියනවා නං අපි දන්න විදිහට චෝදනා තියෙන්නේ විල්පත්තුව වගේ දේවල් සම්බන්ධවයි… පරිසරය සම්බන්ධවයි… ඒ චෝදනා එකක්වත් මේකට ගොනු කළ නෑ… ඔප්පු කරගන්න කාරණා කිසිවක් නෑ… ඒක නිසා අපි මොකද කලබල වෙන්නේ… අගමැති රනිල් ප‍්‍රමුඛ ප‍්‍රබල ඇමැතිවරු කිහිප දෙනකුම කියා සිටියේ මෙය කිසිම පදනමක් නැති විශ්වාසභංගයක් කියාය…
 
 ඇත්ත වශයෙන්ම මම හමුදාපති තුමාට තර්ජනය කළේ නෑ… කතා කළා පමණයි. ඒක ඇත්තද බොරුද කියලා 
 
 බලාගන්න ඕන නම් මගේ ළඟ තියෙනවා එදා ඒ කතා කරපු එකේ රෙකෝඞ් කරපු හඬ පටිය…
 
 ඕව පෙන්නලා මේ වෙලාවෙ අපි අනවශ්‍ය වාදයකට යන්ඩ ඕනි නෑ… අපි නම් කියන්නේ ඔබතුමා මේ වෙලාවේ තනතුරුවලින් ටිකක් විශ‍්‍රාම ගන්න… ඉල්ලා අස්වෙලා මේ ප‍්‍රශ්නේ ඉවරයක් කරන්න… පහු වෙලා නැවත ඇමැතිකම් භාර ගන්න පුළුවන්…. හරින් ප‍්‍රනාන්දු එසේ කීවේ මීට පෙර රවී කරුණානායක, තිලක් මාරපන වැනි ඇමැතිවරුන් සම්බන්ධයෙන් පක්ෂය ගත් ක‍්‍රියාමාර්ග කීපයක් ද මතක් කර දෙමිනි..
 
 නෑ…. මම අස් වෙන්න ඕනේ නෑ… මම වරදක් කරලා නෑ.. මම මේ ආණ්ඩුව රැක ගත්ත කෙනෙක්… අලූත් ආණ්ඩුවක් හදන්න ඇමැතිකම් දෙන්නං, සල්ලි දෙන්නං, තනතුරු දෙන්නන් පිටරට සවාරි දෙන්නං කියල කොච්චර දේවල් මට දෙන්න හැදුවත් මම මේ ආණ්ඩුව දාලා යන්නේ නැතුව මේක රැකගෙන හිටියා. ඔය කවුරුවත් දන්නෙ නෑ මට එස්. බී. දිසානායකයි එතන ඉන්න නායකයොයි දෙන්න හදපු දේවල්… රංගේ බණ්ඩාර එළියට දැම්මා වගේ මගේ ෆෝන් එකේ වෙච්ච හඬපට දැනුත් මං ගාව තියෙනවා… මං ඕන්නං ඒවා ඕගොල්ලන්ට ලබාදෙන්නම්.. එදා ඒ ඉල්ලීම්වලට මග ඇරපු නිසයි එස්. බී. දිසානායක අදටත් මාත් එක්ක තරහ… මම මේ ආණ්ඩුව පාවලා දුන්නේ නෑ… මේක රැකගත්තා…
 
 ඔබතුමාට කතා කරලා මුදල් දෙන්න යෝජනා කරපු හඬ පට තියෙනවා නං මහජනතාවට දැනගන්න ඒවා ප‍්‍රසිද්ධ කරන්න ඕන… ඒවා ප‍්‍රසිද්ධ කරන්න මේ අපේ මන්ත‍්‍රීවරුන්ට භාරදෙන්න…. මංගල යෝජනාවක් කළේය
 
 මේ වෙලාවේ රවුෆ් හකීම් ද කතා කළේය… රිෂාඞ් බදියුදීන් දුෂ්කර අවස්ථාවක පක්ෂය හා ආණ්ඩුව රැක ගන්නට සහ නැවත ආණ්ඩුව ගොඩනගන්නට ක‍්‍රියා කළ ආකාරය ගැන හකීම් ද පක්ෂයට මතක් කර දුන්නේය… මේ වෙලාවේ පක්ෂය එකතු වී බදියුදීන්ව රැක ගත යුතු බව ඔහුගේ අදහස විය…
 
 මේ අතර තරමක් ආවේගයෙන් රිෂාඞ් බදියුදීන්ගේ පක්ෂයේ ත‍්‍රිකුණාමලය මඩකලපුව ප‍්‍රදේශවල නියෝජිතයෝ කතා කරන්නට වූහ… ඒවාට ප‍්‍රති උත්තර දෙමින් එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත‍්‍රීවරුද කතා කරන්නට වූහ… සභාවේ තත්ත්වය තරමක් උණුසුම් වන විට අගමැති රනිල් ම ප‍්‍රශ්න නිරාකරණය කරමින් මැදිහත් විය.
 
 කවුරුවත් තර්ක කර ගන්න ඕන නැහැ. අපි රිෂාඞ් බදියුදීන් පරදින්නෙ නෑ අපි මේ විශ්වාසභංගයට මුහුණ දෙනවා. ඒ වගේම අපි මේක දිනනවා… අගමැති රනිල් ඉතා විශ්වාසයෙන් යුතුව කීවේය.
 
 කෙසේ වෙතත් රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයා හා ඔහුගේ පක්ෂයේ සෙසු මන්ත‍්‍රීවරුන් කතා කළ ආකාරය බොහෝ දෙනකු අනුමත කළේ නැත. විශේෂයෙන් කතෝලික ජනතාව සිටින ප‍්‍රදේශ නියෝජනය කරන මන්ත‍්‍රීවරු ඔහුගේ මේ බලහත්කාරය විවේචනය කරමින් කතා කර කරන්නට වූහ.
 
 දැන් ඕනෑම කුණුගොඩක් 
 ජනාධිපතිගේ ඇඟ උඩින්ලූ…

 
 එදින මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම උණුසුම් එකක් වූවා සේම ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් රැස්වීම ද උණුසුම් ඇමැති මණ්ඩල රැස්වීමක් විය.
 
 මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා විශේෂ කරුණු කීපයක් කෙරෙහි අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු කරමින් රටේ ආරක්ෂාව හා ඉදිරි කටයුතු ගැන කතා කළේය…
 
 මෙහිදී ද රිෂාඞ් බදියුදීන් ඉතාමත් සංවේදී කතාවක් කරමින් තමන්ගේ නිර්දෝෂීභාවය ගැන කරුණු කියන්නට විය…
 
 කැබිනට් මණ්ඩල රැස්වීම් වැඩි වෙලා පැවතුනේ නැත… ඉතා ඉක්මණින් අවසන් විය… එහෙත් ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් වැදගත් කරුණු කාරණා කිහිපයක් පිළිබඳ තීන්දු තීරණ රැසක් ගන්නා ලද සාකච්ඡුාවක් ලෙස එය හැඳින්වූවාට වරදක් නැත..
 
 කැබිනට් මණ්ඩල රැස්වීම නිමවී ඇමැතිවරුන් විසිර යන්නට සූදානම් වෙද්දී ජනාධිපතිවරයා තවත් විශේෂ කාරණාවක් 
 ගැන මතක් කළේය. ඔහු මතක් කළේ පසුගිය දිනක කොළඹ එදඅබ ය්කක ප‍්‍රදේශයේ සැලකිය යුතු වේලාවක් පාර වසා තබමින් එක්තරා ප‍්‍රභූ පුද්ගලයෙක් මහජනතාවට හිරිහැරයක් වන සේ කරන ලද ක‍්‍රියාවක් සම්බන්ධවයි… පාරවල් වසා තබමින් මහජනතාවට හිරිහැරයක් වන සේ වාහන හඬ නංවමින් පාරේ ගමන් කළ යුතු කාලය මේ වන විට අවසන් වී ඇති බව දන්වමින් ජනාධිපතිවරයා මහජනතාව ඊට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය ගැන ද මතක්් කළේය…
 
 දැන් ජනතාව මේවා ඉවසන්නෙ නෑ… ඒක නිසා තමයි ඔක්කොම එකතුවෙලා වාහනවල නළාව ශබ්ද කරමින් ඒ වැඬේට විරෝධතාව ප‍්‍රකාශ කළේ..
 
 මේ මොහොතේ එතැන සිටි ඇමැතිවරුන් මුහුණෙන් මුහුණ බලන්නට වූහ…
 
 මීට පස්සේ කිසිම කෙනෙක් ඒ වගේ වැඩක් කරන්නේ නෑ…. ආරක්ෂක වාහන පිරිවරාගෙන එහෙම යන එකයි මහජනතාවට හිරිහැරයක් වන ලෙස පාරවල් වහලා ප‍්‍රභූවරු ගමන් කරන එකයි දැන් තහනම්…. ජනාධිපති කීවේය…
 
 කවුද එහෙම ගියේ… ඇත්ත වශයෙන්ම අපි හිතාගෙන හිටියේ ඔබතුමා තමයි මේ එහෙම ගමන් කළේ කියලා…
 
 නෑ නෑ… මම නෙවෙයි… මේ රටේ ආරක්ෂාව බාරව ඉන්න නියෝජ්‍ය ඇමැතිවරයා තමයි එහෙම කරලා තියෙන්නේ… හැබැයි එහෙම කරන්න අවශ්‍ය නෑ…
 
 අපි දන්නෙ නෑ… මෙච්චර වෙලා අපි නිහඬව හිටියේ ඒ වැඬේ ඔබතුමා කළා කියලා හිතාගෙනයි…
 
 ඔව් ඉතින්…. මේ දවස්වල ඕනම කුණු ගොඩක් කට්ටිය එකතුවෙලා යවන්නේ ඉතින් මගේ ඇඟ උඩින් තමයි… කියමින් ජනාධිපතිවරයා තම නොසතුටු පළ කරමින් සභාවේ වැඩ කටයුතු අවසන් කළේය….
 
 ජේ වී පී එක ඉටු කරන්නේ 
 ආණ්ඩුවේ උවමනාවලූ…

 
 ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම මහින්දගේ ප‍්‍රධානත්වයෙන් අඟහරුවාදා උදේ පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක දෙකේදි පැවැත්විණි. එහිදී විශේෂයෙන් සාකච්ඡුාවට ගැනුණේ රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි. 
 
 ”අපි විශ්වාසභංග යෝජනාව දෙන අතරේ ජනතා විමුක්ති පෙරමුණත් හදිසියේම ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා. කොහොම වුණත් අපි භාර දීපු යෝජනාව තමයි මුලින් විවාදයට ගන්න ඕනේ. ජනතා විමුක්ති පෙරමුණ හදන්නේ අපේ විශ්වාසභංග යෝජනාව පස්සට දාගන්නයි” විමල් පැවසීය. 
 
 ”ආණ්ඩුවේ වුවමනාව තමයි ජේ. වී. පී එක ඉෂ්ට කරන්නේ. ආණ්ඩුවටත් ඕනේ කොහොම හරි රිෂාඞ්ගේ විශ්වාසභංග යෝජනාව කල් දාගන්නයි. අපි කොහොම හරි මේක ඉක්මන් කරගන්න ඕනේ” මහින්දානන්ද කීවේය. 
 
 ”අපි කථානායකතුමා හම්බ වෙලා මේ ගැන සාකච්ඡුා කරමු. ආණ්ඩුවට ඕනේ විදියට මේවා කල්දාන්න ඉඩදෙන්න බැහැ” ප‍්‍රසන්න පැවසීය.
 
 ”මේ විශ්වාසභංග යෝජනාව නිසා එක්සත් ජාතික පක්ෂයත් දැන් දෙපැත්ත බෙදිලා. සමහරු ප‍්‍රසිද්ධියේම කියනවා විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡුන්දය දෙනවා කියලා. රිෂාඞ් ආණ්ඩු පක්ෂයට දැනුම් දීලා තියෙනවා එයාට විරුද්ධව ඡුන්දය දෙන්න හැදුවොත් ආණ්ඩුව පරද්දනවා කියලා. ඒ වෙලාවේ රනිල් රිෂාඞ්ට පොරොන්දු වෙලා තියෙනවා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්න ඉඩ දෙන්නේ නැහැ කියලා” මහින්දානන්ද හෙළි කළේය. 
 
 ”අපි විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළේ ජනතාව වෙනුවෙන්. ජනතාව බලාපොරොත්තු වෙනවා මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගනියි කියලා. ඒ නිසා අපිට යුතුකමක් තියෙනවා කොහොම හරි බල කරලා මේ විවාදය කඩිනමින් ලබාගන්න” මහින්ද පෙන්වා දුන්නේය. 
 
 ”මේවා එක්කම ආණ්ඩුව අත්සන් කරන්න යන මිලේනියම් චැලේන්ජ් ගිවිසුම ගැනත් අපි අමතක කරන්න හොඳ නැහැ. ඒක අත්සන් කළොත් ලොකු ගැටලූවක් වෙනවා” විමල් පැවසීය.
 
 ”මම ජනාධිපතිවරයා එක්කත් මේ ගැන කතා කළා. එතුමාගෙන් මම ඉල්ලූවා මේක අත්සන් කරන්න ඉඩ තියන්න එපා කියලා” මහින්ද පැවසීය.
 
 ”ජනාධිපතිවරයාටත් කොළේ වහලා අගමැති මේක අත්සන් කරන්න ඉඩ තියෙනවා. එහෙම වුණොත් ලොකු ප‍්‍රශ්නයක් වෙනවා” විමල් කීවේය. 
 
 
 දෙක පටලගන්න එපා යැයි 
 විමල් කිරිඇල්ලට කියලා…

 
 පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් කථානායක කාර්යාලයේ දී අඟහරුවාදා පැවැත්විණි. ඊට සහභාගී වන්නැයි මහින්ද ප‍්‍රසන්නට විශේෂයෙන් දැනුම් දී තිබුණි. එහිදී ප‍්‍රථමයෙන් සාකච්ඡුාවට ලක් කෙරුණේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය සම්බන්ධයෙනි. අනතුරුව පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡුාවට ගැනුණු අතර මැතිවරණය පැවැත්විය යුත්තේ නව ක‍්‍රමය යටතේ ද එසේත් නැත්නම් පැරැණි ක‍්‍රමය යටතේ ද යන්න සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් විවාද කෙරිණි. 
 
 අනතුරුව මැතිවරණය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කිරීමට රනිල් සතියක කාලයක් ඉල්ලා සිටියේය. මැතිවරණය ගැන කතා කර අවසන් වූ වහාම රනිල් පක්ෂ නායක රැස්වීමෙන් ඉවත්ව ගියේය. අනතුරුව සාකච්ඡුාවට ගන්නට නියමිතව තිබුණේ රිෂාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙනි.
 
 ”අපි රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් භාර දීලා තියෙනවා. කරුණාකරලා ඒකට දිනයක් ලබා දෙන්න” දිනේෂ් ඉල්ලා සිටියේය. 
 
 ”ඒ විශ්වාසභංග යෝජනාවේ දිනය වැරැදියි. ඒකේ තියෙන්නේ 2018 කියලා” කිරිඇල්ල පැවසීය.
 
 ”අපි දිනය හරිගස්සලා දුන්නා. කථානායකතුමා ඒක භාර ගත්තා” දිනේෂ් කීවේය.
 
 ”ඒක හරි. මම ඒ යෝජනාව භාරගෙන තියෙන්නේ” කථානායක පිළිතුරු දුන්නේය.
 
 ”ඒකනේ කියන්නේ. අපිට දිනයක් දෙන්න” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.
 
 ”අපි මේ යෝජනාවට විරුද්ධයි. මේ සම්බන්ධයෙන් හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. මේ දෙකෙන්ම වෙන්නේ එකම දේ” කිරිඇල්ල පෙන්වා දුන්නේය.
 
 ”විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරලා තියෙන්නේ ඇමැතිවරයාගේ ක‍්‍රියාකලාපය සම්බන්ධයෙන්. තේරීම් කාරක සභාව පත් කරන්නේ 21 වැනි දා ප‍්‍රහාරය ගැන හොයන්න” විමල් පැවසීය.
 
 ”මේක පටල ගන්න එපා” දිනේෂ් කීවේය. 
 
 ”ආණ්ඩුවට ඕනේ වෙලා තියෙන්නේ විශ්වාසභංග යෝජනාව කල්දාගන්නයි. ඒවට ඉඩ දෙන්න බැහැ” විමල් පැවසීය.
 
 ”මේක ජනතාවගේ ඉල්ලීමක්. ජනතාවගෙන් ලොකු චෝදනාවක් ඇමැතිවරයට ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපට දිනයක් ලබා දෙන්න ඕනේ” ප‍්‍රසන්න පැවසීය.
 
 ”මගේ මතයත් මේක විවාදයට ගත යුතුයි කියන එකයි” ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ නායකයන් නිහඬව සිටින විට කථානායකරවරයා පැවසීය. 
 
 ”නැහැ මේක විවාදයට ගන්න ඕනේ නැහැ. තේරීම් කාරක සභාවක් පත් කරනවානේ” කිරිඇල්ල යළිත් කීවේය.
 
 ”ආණ්ඩු පක්ෂය විරුද්ධ නම් කරන්න දෙයක් නැහැ. අපි මේ ගැන පස්සේ සාකච්ඡුා කරමු” කථානායකවරයා පැවසීය.
 
 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සියලූදෙනාගේම අදහස වූයේ ආණ්ඩුව රිෂාඞ්ට එරෙහි විශ්වාසභංග යෝජනාව කල්දමා ගැනීමේ උප්පරවැට්ටියක නිරත වන බවය. ඒ අනුව කෙසේ හෝ විශ්වාසභංග යෝජනාවට දිනයක් ලබා ගැනීමට ඔවුන් තීරණය කර තිබුණි. බදාදා දිනයේ මේ සම්බන්ධයෙන් ඇති වූ විවාදය නිසා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයාට සිදු විය. 
 
 පසුව බ‍්‍රහස්පතින්දා දිනයේ යළිත් පක්ෂ නායක රැස්වීමක් කථානායකවරයා විසින් කැඳවා තිබුණේ මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීමටය. 
 
 ”ජූනි මාසයේ 04, 06 සහ 07 දිනවල පාර්ලිමේන්තුව පැවැත්වෙනවා. ඒ නිසා අපි 06, 07 දිනවල විශ්වාසභංග යෝජනාව විවාදයට ගමු” දිනේෂ් පැවසීය.
 
 ”ඒක කරන්න බැහැ. අපි ඒ දවස් වෙන් කරලා තියෙන්නේ රජයේ කටයුතුවලට” කිරිඇල්ල විරෝධය පළ කළේය. 
 
 ”සභානායකතුමා 04 වැනි දා රජයේ කටයුතු දාගන්න. අපි ඒකට අපේ සහයෝගයත් දෙන්නම්. හැබැයි 06, 07 දින දෙක විවාදයට දෙන්න” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.
 
 පක්ෂ නායක රැස්වීමට රිෂාඞ් බදියුදීන් පැමිණියේ මේ අතරය. රැස්වීමේ සිටි විමල් දුටු රිෂාඞ් අවේශයෙන් මෙන් විමල්ට බැණ වදින්නට ගත්තේ ජාතිවාදය ද ඈඳා ගනිමිනි. 
 
 ”මේ ඉන්නේ ලොකුම ජාතිවාදියා. රට ගිනි තියන්නේ මෙයා තමයි. අපට බොරු චෝදනා කරන්නේ මෙයා තමයි” රිෂාඞ් බැණ වැදුණේය.
 
 ”මම නෙමේ ඇමැතිතුමා ඔබතුමා තමයි වහාබ්වාදය බදාගෙන රට විනාශ කරන්නේ. ඔබතුමාලා තමයි ත‍්‍රස්තවාදය පෝෂණය කරන්නේ” විමල් පැවසීය.
 
 ”අද අපිට ආගම අදහන්න විදියක් නැහැ. පල්ලියකට යන්න විදයක් නැහැ. මෙයලා කරන වැඩ නිසා අපි අමාරුවේ වැටිලා ඉන්නේ” රිෂාඞ් කීවේය.
 
 ”ඔබතුමාලාම තමයි මේක ආරම්භ කළේ” විමල් ඇඟට පතට නොදැනී උත්තර දුන්නේය.
 
 ”නැහැ නැහැ තමුන්නාන්සේ තමයි රට ගිනි තියන්නේ” රිෂාඞ් යළි යළි කීවේය.
 
 ”එහෙම කතා කරන්න එපා ඇමැතිතුමා. තමුන්නාන්සේලා මේ සිද්ධිවලට සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ. ත‍්‍රස්තවාදීන් තුරුලේ දාගෙන, ඒ අයට බිස්නස් කරන්න රජයේ උපකාර දීලා ත‍්‍රස්තවාදය පෝෂණය කළේ ඔබතුමාලයි” ප‍්‍රසන්න විවාදයට මැදිහත් වුණේ එසේ කියමිනි.
 
 ”අපි වරදක් කරලා නැහැ. ඔයාලා ජාතිවාදීන්” රිෂාඞ් පැවසීය.
 
 ”අපි කතා කරන්නේ එක ජාතියක් ගැන නෙමෙයි. මේ ත‍්‍රස්තවාදය නිසා රටේ සියලූ ජාතීන් දැන් අනතුරට පත් වෙලා. තමුන්නාන්සේ කියනවා පල්ලිවලට යන්න බැහැ කියලා. පාස්කු ඉරිදා ප‍්‍රහාරය නිසා කතෝලිකයන්ට සති දෙකක් පල්ලි යන්න බැරි වුණා. අපේ බෞද්ධයන්ට වෙසක් එකටවත් පන්සල් යන්න බැරි වුණා. මේවා බොරුද? තමුන්නාන්සේ වරදක් කරලා නැත්නම් බය නැතිව විශ්වාසභංග යෝජනාවට මුහුණ දෙන්න. තමුන්නාන්සේ බය වෙලා ඇත්තේ වරදක් කරපු නිසා වෙන්න ඇති” ප‍්‍රසන්න දැඩිව පැවසීය.
 
 ”නැහැ එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට ඕනේ විදියට අපි වැඩ කරන්නේ නැහැ. හොඳට මතක තියා ගන්න මේ ආණ්ඩුව වට්ටවන්නත් බැහැ. වට්ටවන්න මම ඉඩ තියන්නෙත් නැහැ” රිෂාඞ් පැවසීය.
 
 ”ආණ්ඩුව වට්ටවන එක ගැන නෙමේනේ ඇමැතිතුමා අපි කතා කරන්නේ. අනික් එක ආණ්ඩු වට්ටවන්න දෙන්න නැහැ කියන්න ඔබතුමා කවුද? ඒක තීරණය කරන්නේ ජනතාව” ප‍්‍රසන්න ද අතහැරියේ නැත.
 
 ”ඒක හරි. ආණ්ඩු වට්ටවන කතාවක් නැහැ. අපිට ඕනේ නම් අපි ආණ්ඩු වට්ටවනවා. අපිට ඒක පැත්තක තියලා මේ විශ්වාසභංගයට දිනයක් දෙන්නකො” දිනේෂ් ද කීවේය. 
 
 ඒකාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් සහ රිෂාඞ් අතර ඇති වූ මෙම කලකෝලාහලය සංසිඳුවීමට අවසානයේ කථානායකවරයා මැදිහත් විය. 
 
 ”දැන් මොකක්ද කරන්නේ කියන්නකො? කථානායකවරයා විමසුවේය.
 
 ”04 වෙනිදාට ආණ්ඩුවේ කටයුතු යොදාගෙන 06, 07 විවාදයට දෙන්න” දිනේෂ් ඉල්ලා සිටියේය.
 
 ”එහෙම දෙන්න බැහැ. ඕනේ නම් 18, 19 දෙන්නම්” කිරිඇල්ල පැවසීය.
 
 ”ඇයි කල්දාන්නේ? අපි මේක කලින් ගමු” දිනේෂ් යළි ඉල්ලා සිටියේය.
 
 ”ඔයාලට ඕනේ දවස දෙන්න බැහැ. අපි දෙන්නේ අපිට ඕනේ දවස” කිරිඇල්ල පැවසීය.
 
 ”සභානායකවරයා විරුද්ධ නම් මට කරන්න දෙයක් නැහැ. මම මේ ගැන සාකච්ඡුාව කරන්න පාර්ලිමේන්තුවේ සභා කටයුතු පිළිබඳ කාරක සභාවට භාර දෙනවා” කථානායකවරයා අවසන් වශයෙන් පැවසීය.

 බුලිත ප‍්‍රදීප් කුමාර

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *