එජාපය සහ පොහොට්ටුව හවුලේ තේරීම් කාරක සභාව ගෙනාවේ ජනපති විනාශ කරන්නයි : දයාසිරි

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පිහිටුවීම සඳහා යෝජනා කළේත් අත්සන් එකතු කළේත් එක්සත් ජාතික පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය යන කණ්ඩායම් දෙකම හවුලේ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. 

මෙම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉලක්ක කරගනිමින්, එතුමාට එරෙහිව තොරතුරු රැස් කරන, එතුමා විනාශ කිරීම සඳහා පිහිටවූ කමිටුවක් බවටයි දයාසිරි ජයසේකර මහතා චෝදනා කළේ.

“දැන් කැබිනට් මණ්ඩලය රැස් වෙන්නෙත් නෑ. පාර්ලිමේන්තුව සහ ජනාධිපතිවරයා අතර යම් මතභේදාත්මක කාරණයක් බවට පත්වෙලා තියෙනවා මේ කාරණය.

මේ තේරීම් කාරක සභාව පත් කරන්න අත්සන් තැබුවේ සහ එකතුවෙලා යෝජනා කෙරුවේ එක පැත්තකින් එජාපයේ මන්ත්‍රීවරු. අනිත් පැත්තෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු. දෙගොල්ලොම එකතුවෙලා ගෙනාපු මේ යෝජනාවලිය කවුරු දඩමීමා කරගැනීම සඳහා ගෙනාපු යෝජනාවලියක්ද කියන එක අපට ප්‍රශ්නයක්.

ඒ විතරක් නෙවෙයි මෙතනදි අපි මතු කළ යුතු කාරණයක් තමයි, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානියා ලංකාවේ හිටියෙ නෑ ඒ දවස් ටිකේ. ඔහු හිටියේ සිංගප්පූරුවේ. 13 වෙනිදා ඔහු පිටත් වෙනවා ආපහු එන්නෙ 16 වෙනිදා. එතකොට මෙතරම් දැවැන්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන් තොරතුරු ලැබිලා තියෙද්දි ඒ තොරතුර ලැබිච්ච ප්‍රධානියා විදියට ඔහු මොකද්ද කළේ ? ඔහු ලංකාවෙන් පිටවුණේ ඇයි ?

එතකොට මේ සියල්ල තියෙද්දි තමයි ජනාධිපතිතුමාව දැනුවත් කළේ නෑ කියලා හරි දැනුවත් වුණේ නෑ කියලා හරි දැන් මේක ජනාධිපතිතුමාගෙ ඔළුවට වැටිලා තියෙන්නෙ.

පැහැදිලිවම මේ රටේ ජනාධිපතිවරයාව ඉලක්ක කරගනිමින්, එතුමාට විරුද්ධව තොරතුරු රැස් කරන, එතුමාව විනාශ කිරීම සඳහා ගෙනයන කමිටුවක් විදියට තමයි අපි මේක දකින්නෙ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (11) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *