අද කැබිනට් රැස්වීම අවිනිශ්චිතයි: ජනපති, අගමැති ගැටුමෙන් ආණ්ඩුව තවත් අර්බුදයක

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

සතිපතා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම අද දිනයේදී පැවැත්වීමට නියමිතව තිබේ. කෙසේ වෙතත් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ආණ්ඩුව පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හේතුවෙන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන ඇති විරසකය හේතුවෙන් අද කැබිනට් රැස්වීම පැවැත්වීම තවමත් අවිනිශ්චිත බවයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයා පසුගියදා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවා ප්‍රකාශ කර තිබුනේ තේරීම් කාරක සභාවේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන්නේ නම් තමා කැබිනට් රැස්වීම වර්ජනය කරන බවයි. එහිදී ඔහු තේරීම් කාරක සභාවේ කටයුතු බරපත ලෙස විවේචනය කර තිබේ.

අප්‍රේල් 21 වන දා සිදුවීමට අදාළ තමාවද වගඋත්තරකරුවකු කරමින් නඩු 05ක් මේ වන විට ශ්‍රේෂ්ඨාකරණයේ විභාගයට ගැනෙමින් පවතින අතර, එවන් අවස්ථාවක තේරීම් කාරක සභාවත් පත්කර කටයුතු කිරීම, එම ශ්‍රේෂ්ඨාධිකරණ ක්‍රියාවලියට අහිතකර තත්ත්වයක් බව නීතිපතිවරයා තමා වෙත ලිඛිතව දන්වා තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී පවසා තිබේ.

නීතිපතිවරයා විසින් තමන්ට මේ බව දැනුම් දුන් පසු ඒ පිළිබඳව කතානායක වරයා දැනුවත් කළ බවත් නමුත් කතා නායකවරයා ඒ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකර මෙම තේරීම් කාරක සභාව පවත්වාගෙන යන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ජනාධිපතිවරයා නොමැතිව කැබිනට් මණ්ඩලයේ රැස්වීම් පැවැත්වීම නීත්‍යනුකූල නොවන අතර ඊට හේතුව වන්නේ ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමයි.

මතුව ඇති අර්බුදය විසඳා ගැනීම සඳහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු මැදිහත් වී ඇති අතර ඔවුන් ජනාධිපතිවරයා සමග මෙන්ම අගමැතිවරයා සමග ද සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබේ. කෙසේ වෙතත් තවමත් අර්බුදය අවසන් වී නොමැත.

මේ අතර ඒ සම්බන්ධයෙන් අතිශය වැදගත් සාකච්ඡාවක් ඊයේ රාත්‍රී ජනාධිපති නිළ නිවසේදී පැවති අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගි වූ බව වාර්තා වේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස වන්නේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත් කිරීමේ මූලික අරමුණ පාස්කු ප්‍රහායේ වගකීම තමා මත පැටවීම බවයි. ඒ සඳහා අගමැතිවරයා සැළසුම් සහගතව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පත්කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරන අතර පසුගියදා ජනාධිපතිවරයා, අගමැතිවරයා අමතා තදින් දෝෂාරෝපණය කර තිබේ.

කලෙක පටන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර දැඩි විරසකයක් පවතින අතර පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පත් කිරීම හරහා එම විරසකභාවය වර්ධනය වී තිබේ.

කෙසේ හෝ ජනාධිපතිවරයා සහ ආණ්ඩු අතර පවතින මෙම විරසකභාවය හේතුවෙන් රට අරාජික තත්වයට පත්ව ඇති බවයි ඇතැම් දේශපාලනඥන්ගේ අදහස වන්නේ.

Facebook Comments

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *